දෙමළ සන්ධාන මන්ත්‍රී උතුරට හමුදාව ඉල්ලයි


(වන්නි රොමේෂ් මධුෂංඛ)

වර්තමානයේ රටේ පවතින අයහපත් වාතාවරණය හේතුවෙන් උතුරේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් යුද හමුදාව අවශ්‍ය යැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා පෙරේදා (01) පැවැසීය.

මන්ත්‍රීවරයා මෙසේ පැවැසුවේ මැයි දිනය වෙනුවෙන් කිලිනොච්චිය පච්චිලිප්පලෙයි ප්‍රදේශයේ පෙරේදා පැවැති ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්‍ෂයේ රැස්වීමක්  අමතමිනි.

ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂය දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානම පක්ෂය වන අතර මීට පෙරදී උතුරට යුද හමුදාව අනවශ්‍ය බව කියූ දෙමළ ජාතික සන්ධානය මාවෙයි සේනාධිරාජා මහතා මෙවැනි ප්‍රකාශයක් කීම විශේෂත්වයකි.

මැයි දින රැස්වීමේදී අදහස් දැක්වූ මාවෙයි සේනාධිරාජා මහතා මෙසේද කීය.

"යුද්ධය අවසන් වී වැසියන් නැවත පදිංචි වී නීතිය හා සාමය සාමාන්‍ය තත්ත්වයට පත් වූ පසු යුද හමුදාව උතුරු පළාතට අවශ්‍ය නොවන බව මීට පෙර පැවසුවා.

නමුත් පසුගිය අප්‍රේල් 21 වැනිදා සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසුව ඇතිව තිබෙන අයහපත් වාතාවරණයත් සමග උතුරු පළාතට යුද හමුදා ආරක්‍ෂාව අවශ්‍යව ජනතාවට තිබෙනවා.

එබැවින් ජනතාවට අවශ්‍ය ආරක්‍ෂාව යුද හමුදාවෙන් ලැබෙනු ඇතැයි මා විශ්වාස කරනවා" යැයිද ඔහු කීය.