දුම්රිය මැදිරිවලට ප්‍රමාද ගාස්තුව ලක්‍ෂ 40 ඉක්මවයි


(යොහාන් භාසුර)

ඉන්දීය ණය ආධාර යටතේ මේ මස 21 වැනිදා කොළඹ වරායට ගෙනආ දුම්රිය මැදිරි 20 ක් දුම්රිය දෙපාර්තමේන්තුව ඉවත්කර නොගැනීම නිසා ප්‍රමාද ගාස්තු රුපියල් ලක්‍ෂ 40 ක් වරායට ගෙවීමට සිදුවී ඇති බව දැනගන්නට තිබේ.

එම දුම්රිය මැදිරි තොගයේ අවසන් මැදිරි 20 පෙරේදා (29) කොළඹ වරායට ගොඩබා තිබුණ ද මේ දක්වා එම මැදිරි ද ඉවත්කරගනෙ නොමැති අතර ඒවා හෙට (1) ඉවත්කරගත යුතුව තිබුණි.

ඒ අනුව හෙට සිට එම දුම්රිය මැදිරි වෙනුවෙන් ද දුම්රිය දෙපාර්තමේන්තුවට ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවන අතර එසේ වුවහොත් ප්‍රමාද ගාස්තුව තව දුරටත් ඉහළ යනු ඇත.

ඉන්දියානු ණය ආධාර යටතේ මෙරටට මීට පෙර ගෙන්වූ දුම්රිය මැදිරි 120 න් මැදිරි 50 ක් ධාවනයට නොයදවා මාලිගාවත්ත දුම්රිය අංගනයේ ගාල්කර තිබෙන බව ද දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.