(ආනන්ද ඉ ජයකොඩි)
දී ඇල් ඔය පිටාර ගැලීම හේතුවෙන් අද (04) උදෑසන වන විට අත්තනගල්ල කොට්ඨාශයේ ග්‍රාම සේවා වසම් විසි දෙකක නිවාස 737 ක් ජලයෙන් යට වී පුද්ගලයින් 2,882 ක් අවතැන් වී සිටින බව අත්තනගල්ල ආපදා සහන සේවා නිලධාරී ටී බී නිර්මාල් මහතා පැවසීය.
තල්ගස්මොටේ , හිරිපිටිය , වේයන්ගොඩ මැද්දවත්ත , වියලගොඩ හා කඳ ඔළුවාව ඇතුළු ගම්මාන විසි දෙකක් එසේ ජලයෙන් යට වී ඇති බවත් එම පවුල් වලට අයත් පුද්ගලයින් දෙදහස් අට සිය අසූ දෙදෙනෙක් අවතැන් වී සිටින බවත් ඔවුන් සියළු දෙනාට ඊයේ (03) රාත්‍රී සිට පිසූ ආහාර ලබා දුන් බවද ආපදා සහන සේවා නිලධාරී වරයා කීය.
හමුදා සහායෙන් බෝට්ටු තුනක් යොදා ගෙන කඳ ඔළුවාව හා මැද්දවත්ත ප්‍රදේශයේ අවතැන් වී සිටින ජනතාවට පිසූ ආහාර ලබා දීම සිදු කළ බවද ආපදා සහන සේවා නිලධාරී වරයා සදහන් කළේය.
ජලයෙන් යට වීම හේතුවෙන් නිවාසවල රැඳී සිටීමට නොහැකිම පිරිස් ඊයේ (03) රාත්‍රීයේම බෝට්ටු මගින් ආරක්ෂිත ස්ථාන වලට රැගෙන ආ බව සදහන් කළ ආපදා සහන සේවා නිලධාරී වරයා දැනට නිවාස කැඩී යාමක් වාර්තා වී නැති නමුත් ජලය බැස යාමෙන් පසුව සිදු වී ඇති හානි සොයා බලා ඒ පිළිබඳව ඉදිරි පියවර ගන්නා බවද පැවසීය.