දිවුලපිටියේ අනතුරින් නාවික හමුදා වෛද්‍ය සහායකයා මරුට


(ටෝනි කරුණානායක)

දිවුලපිටිය නගරය ආසන්නයේදී අද පෙරවරුවේ මෝටර් රථයක් සහ ඇඟලුම් කම්හල් සේවක සේවිකාවන් ප්‍රවාහනය කරන බස් රථයක් එකිනෙක ගැටීමෙන් මෝටර් රථය ධාවනය කළ වැලිසර නාවික හමුදා රෝහලේ සේවය කරන වෛද්‍ය සහයකයකු මියගොස් මෝටර් රථයේ ගමන් කළ කොළඹ ජාතික රෝහලේ හෙදි නිලධාරිනියක වූ බිරිඳ බරපතළ තුවාල ලබා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇතැයි දිවුලපිටිය පොලීසියේ රථවාහන අංශය පවසයි .

පොල්ගහවෙල හලබඩ ප්‍රදේශයේ පදිංචි ආර් .ඩී.ගිහාන් මධුසංඛ විරසිංහ නමැති 27 හැවිරිදි වෛද්‍ය සහායකයා මෙසේ මිය ගොස් ඇති අතර 26 හැවිරිදි ඔහුගේ බිරිය තුවාල ලබා තිබේ ඇතැයි පොලිසිය කියයි .

මරණකරු හෙදි නිලධාරිනිය සමග විවාහ වී ඇතත් කොරෝනා හේතුවෙන් විවාහ මංගල උත්සවයක් ගෙන නොමැති හෙයින් තුවාල ලබා සිටින හෙද නිලධාරිනිය තම දෙමාපියන් සමග පන්නල ප්‍රදේශයේ පදිංචිව සිටින බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

මියගිය වෛද්‍ය සහායක නිලධාරියා තම බිරිඳ වූ හෙද නිලධාරිනිය සමග බිරිඳගේ පන්නල පිහිටි නිවසේ සිට මෝටර් රථයෙන් රැකියාවට යමින් සිටියදී අනතුර සිදුව ඇති බවත් මෝටර් රථයේ රියදුරු වු වෛද්‍ය සහයක නිලධාරියාට නින්ද යාම අනතුරට හේතුවී ඇතැයි පොලිසිය කීය .