දිට්වා මරණ තුනකට සීමා කරන්න ඉන්දියාව සමත් වෙලා


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

දිට්වා සුළි කුණාටුව දකුණු ඉන්දියාවටත් ගිය නමුත් එරට ජීවිතක්ෂයට පත්වුණේ තුන්දෙනෙක් පමණක් බව පත් කළ මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

කුණාටුව නවත්තන්න පුළුවන් කමක් නැති වුනත් හානිය අවම කරගන්න ආණ්ඩුවක් ලෙස සමත් විය යුතු බවද මන්ත්‍රීවරයා කීය.

"රටට උදව් කරන ලෙස විපක්ෂ නායකතුමා තානාපතිවරුන්ගෙන් ඉල්ලා සිටියා.මේ ආපදා තත්ත්වය ගැන විපක්ෂය විවාදයක් ඉල්ලුවත් ඒකාධිපති ආණ්ඩුව ඒකට ඉඩ දුන්නේ නැහැ.මේ ව්‍යසනය ගැන දන්නේ 25 වෙනිදා යැයි මහජන ආරක්ෂක ඇමති ප්‍රකාශ කළා.

කාලගුණය සම්බන්ධව ප්‍රකාශ කිරීමේ අයිතිය තියෙන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාටයි.එතුමාගේ දත්ත අනුව ආණ්ඩුව කටයුතු කළ යුතුයි.මේ කුණාටුව දකුණු ඉන්දියාවටත් ගියා.ජීවිතක්ෂයට පත්වුණේ තුන්දෙනෙක් විතරයි.කුණාටුව නවත්තන්න පුළුවන් කමක් නැති වුනත් හානිය අවම කරන්න පුළුවන්.කුණාටුව ගැන අනතුරු අඟවන්න පටන් ගත්තේ සති දෙකකට පෙර සිටයි.ආණ්ඩුවේ ඉන්නේ කන් ඇහෙන්නේ නැති බීරි මිනිස්සු දැයි මද්දුම බණ්ඩාර මහතා ප්‍රශ්න කළේය.