දැරියක සමග හාද වී නිරුවත් ඡායා ගෙන්වා ගෙන


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කැබිතිගොල්ලෑව පිහිඹියගොල්ලෑව පදිංචි දහතුන් හැවිරිදි පාසල් සිසුවියකගේ නිරුවත් ඡායාරූප වට්ස්ඇප් සමූහයට එක් කළේ යැයි කියන තරුණයකු අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර පරිගණක අපරාධ විමර්ශන අංශයේ සහ පිහිඹියගොල්ලෑව පොලිසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

මෙම බාලවයස්කාර සිසුවිය අන්තර්ජාලය මගින් දැන හඳුනාගත් තරුණයකු සමඟ සමීප හිතවත්කමක් ඇති කරගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.

මෙම සිසුවිය එම තරුණයා කිසිදු දිනෙක සැබැවින් දැක නොමැත.

මෙසේ හිතවත්කම පවත්වාගෙන යන අතරවාරයේ අන්තර්ජාලයෙන් හඳුනාගත් තරුණයා ඇයගෙන් නිරුවත් ඡායාරූප ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි පොලිසිය පවසයි.

තරුණයා කළ ඉල්ලීම මත බාලවයස්කාර සිසුවිය ඇගේ නිරුවත් ඡායාරූප ලබාගෙන ඒවා තරුණයා වෙත යවා ඇති බවද පොලිසිය පැවැසීය.

දැරිය ගෙන් ඉල්ලා ගත් මෙම නිරුවත් ඡායාරූප එම තරුණයා විසින් වට්ස්ඇප් ජාලයට පසුව මුදා හැර ඇතැයි ද පොලිසිය කීය.

ජාතික ළමාරක්ෂක අධිකාරියට මේ සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලක් වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට පිහිඹියගොල්ලෑව පොලිසියට යොමුකර යොමු කර ඇත.

සමන් කුමාර