‘දැනට දේශපාලනය කරන සියලු දෙනා ඉල්ලා අස්වී අලුත් පිරිසකට රට භාරදිය යුතු” යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ ඉතාලියේ මිලානෝ නුවර දී පැවසූහ.
“දැන් ඔය දේශපාලනය කරන අය ගෙදර යා යුතු යැයි ද අලුත් පිරිසක් දේශපාලනයට ප්‍රවේශ වියයුතු” යැයි ද අගරදගුරුතුමෝ සඳහන් කළහ.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් මෙසේ පැවසුවේ ඉතාලියේ මිලානෝ නුවර අබාතේ දේවස්ථානයේදී 23 වැනිදා පැවති දේවමෙහෙයකදීය.
ශ්‍රී ලාංකික කිතුනු බැතිමතුන් වෙනුවෙන් එම විශේෂ දේවමෙහෙය පැවති අතර අගරදගුරුතුමන් සිංහල භාෂාවෙන් දේව මෙහෙය පැවැත්වීම විශේෂත්වයක් විය.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා සියලු පාර්ශව පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරය ප්‍රයෝජනයට ගැනීමට උත්සාහ කරන බව ද අගරදගුරුතුමෝ වැඩිදුරටත් කීහ.
මේ දක්වා රට පාලනය කළ බොහෝ දේශපාලනඥයන් තමන් අසමතුන් බව ඔප්පු කර ඇතැයි ද කාදිනල්තුමෝ පැවසූහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ මෙසේ ද කියා සිටියහ.
“ඉතිහාසය පුරාම අපේ දේශපාලන නායකයන් මොනවද කළේ? පිල් බෙදිලා රට විනාශ කිරීම තමයි කළේ. දැන් ඔය දේශපාලනය කරන සියලුම දෙනා ඉල්ලා අස්විය යුතුයි. අලුත් පිරිසකට රට භාරදිය යුතුයි. තණ්හාව, බලලෝභය, කුලල් කා ගැනීම, අතහෝදා ගැනීම, වරද පැටවීම, මම නෙවෙයි එයයි ඕක කළේ. එයා නෙවෙයි අරයයි කළේ ආදී වශයෙන් කියමින් ඔය විදියට මේ රට දියුණු කරන්න බැහැ. අපි ශ්‍රී ලාංකිකයන් හැටියට මේ දේවල් ගැන කල්පනා කර බැලිය යුතුයි.
ඡන්දයක් ළඟ එනවලු. ඒ නිසා දැන් හැමෝම මේක භාවිත කර ඡන්දය දිනන්න හදනවා. මේ බෝම්බ පිපිරීමේ සිද්ධියේ සත්‍යතාවය අපි තාම දන්නේ නැහැ. එහෙත් කවුද මේක පිටිපස්සේ හිටියේ, කවුද මේකට අනුබල දුන්නේ. කවුද මේ වැඩපිළිවෙල හංගන්න හදන්නේ, ඇයි එහෙම කරන්නේ කියල ජනතාව දන්නවා” යැයි ද අගරදගුරුතුමෝ පැවසූහ.
මිලානෝ කොන්සල් ජෙනරල් ඩෙන්සිල් ෆොන්සේකා මහතා ඇතුළු ශ්‍රී ලාංකිකයෝ රැසක් එම දේව මෙහෙයට එක්ව සිටියහ.

