
(නිමල කොඩිතුවක්කු)
දරුවන් අතර මී උණ රෝගය සීඝ්‍රයෙන් පැතිර යාමේ අවදානමක් මේ දිනවල පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය.
පාසල් නිවාඩු කාළය තුළ දරුවන් සරුංගල් යැවීමට වෙල්යායන් කරා යෑම මී උණ වැඩිවීමට ප්‍රධාන වශයෙන් බලපාන බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.
අවුරුද්දේ වෙනත් වකවානුවලට සාපේක්ෂව අගෝස්තු මාසය තුළ මී උණ රෝගයේ වැඩිවිමක් අපේක්ෂා කරන බැවින් මවුපියන් මේ පිළිබඳ වැඩි අවධානයක් යොමුකළ යුතු බවද ඔහු පැවසීය.
දරුවන් සරුංගල් යැවීමට වෙල්යායන් කරා යන්නේනම් පාවහන් පලදින ලෙසත් තුවාල ඇත්නම් නිවසට වී සිටින ලෙසත් දීපාල් පෙරේරා මහතා කිවේය.
ඇස් රතු පාට හෝ කහ පාට වීම, මුත්‍රා තද කහ පාටට පිටවීම, බඩ රිදීම, මී උණ රෝග ලක්ෂණ ලෙස ඔහු සඳහන් කළේය.
උණ රෝගය දින පහක් හයක් පමණ පවතී නම් එය මී උණ රෝගය විය හැකි බැවින් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙසත් විශේෂඥ වෛද්‍යවරයා තවදුරටත් පැවසීය.

