දරුණු ගණයේ අපරාධකරුවන් තව 40ක් බූස්සට


(සුජිත් හේවාජුලිගේ )

දිවයිනේ විවිධ බන්ධනාගාරවල රඳවා සිටි දරුණු ගණයේ අපරාධකරුවන් තවත් හතළිස් දෙනකු ගාල්ල බූස්ස බන්ධනාගාරයේ විශේෂ ආරක්ෂිත සිර මැදිරිවල රැඳවූ බව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවැසී ය.

මෙම දරුණු ගණයේ අපරාධකරුවන් හතලිස් දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ද රාජ්‍ය බුද්ධි සේවයේ හා ත්‍රස්ත විමර්ශන අංශයේ ද වාර්තා පදනම් කරගෙන හඳුනාගනු ලැබූ බව රාජ්‍ය ඇමැතිවරයා කීය.

දරුණු ගණයේ අපරාධකරුවන් 36 දෙනෙක් ගාල්ල බූස්ස බන්ධනාගාරයේ වෙනම ආරක්ෂිත සිර මැදිරි වල මෙයට පෙරද රඳවනු ලැබූහ.

බන්ධනාගාරවල සිට විවිධ අපරාධ සැලසුම් කිරීම වැළැක්වීමේ පියවරක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගත් බව කී ලොහාන් රත්වත්තේ මහතා ඔවුනට බාහිර සමාජය හා දුරකථන ඔස්සේ සම්බන්ධ වීමේ අවස්ථාව ද සම්පූර්ණයෙන්ම අවුරා ඇතැයි සඳහන් කළේය.

දරුණු ගණයේ අපරාධකරුවන් තවත් පිරිස් ඉදිරි දිනවල වෙනම ආරක්ෂිත සිර මැදිරිවල රැදවීමට කටයුතු යොදා ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසීය.