
(ඩයනා උදයංගනී)
ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යාමේ සිද්ධිය පිටුපස සිටින මහමොළකරුවන් කවුද යන්න පිළිබඳ විධිමත් පරීක්‍ෂණයක් කරන්නැයි ඉල්ලා මිනීමරු ඖෂධ මාෆියාවට එරෙහි ජනතා එකමුතුවේ සභාපති පාහියංගල ආනන්ද හිමියන් ඇතුළු පිරිසක් අද (19) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ගොස් පැමිණිල්ලක් කළහ.
ඒ ගැන වගකීම භාරගත් මෘදුකාංග ඉංජිනේරුවරයාගෙන් මේ තාක් ප්‍රශ්න නොකිරීම ඛේදනීය තත්වයක් බව කී ආනන්ද සාගර හිමියෝ මේ පිටුපස සිටින ජාවාරම්කරුවන් එය යටගැසීමට උත්සාහ ගන්නා බව පෙනෙන්නේ යැයි ද පැවසූහ.
ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ ගෙන්වීම පිළිබඳ තොරතුරු අදාළ මෘදුකාංගයෙන් පිට ගබඩා කර තිබීමත්, විශේෂයෙන් කොවිඩ් සම්බන්ධ බෙහෙත් හා පර්යේෂණ කට්ටල නියමිත ක්‍රමවේදයෙන් පිට ගෙන්වා තිබීම වැදගත් බවත් උන්වහන්සේ කීහ.
මේ සම්බන්ධයෙන් නඩු විභාගයක් දක්වා ඉදිරියට යන බව ද ආනන්ද සාගර හිමියෝ කීහ.
(ඡායාරූප ශාන්ත රත්නායක)


