තිරප්පනය අනතුරු


 

(බී.ජී. චතුරංග )

තිරප්පනය සහ කැකිරාව යන පොලිස් වසම්තුල සිදුවූ රිය අනතුරු දෙකකින් යුද හමුදා සෙබළෙකු සහ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි. 

කැකිරාව දෙස සිට දඹුල්ල දෙසට ගමන් කල යතුරු පැදියක, පැදිකරුට නින්ද යාම හේතුවෙන් එම යතුරු පැදිය පාලනය කර ගැනීමට නොහැකිව බෝක්කුවක් අසල සවිකර තිබූ කොන්ක්‍රීට් කැටයක ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි. 

එම අනතුරෙන්  ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පලාලි යුද හමුදා කඳවුරක සේවයේ නිරතව සිටි, මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිව සිටි කසුන් ශීෂන් ප්‍රේමවංශ නැමති 29 හැවිරිදි  යුද හමුදා සෙබළෙකි.

මහනුවර යාපනය ඒ නවය මාර්ගයේ කැකිරාව සහ දඹුල්ල අතර, කිලෝ මීටර් 90ත් 91ත් අතර ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු වන තඹුත්තේගම, පහළගම ප්‍රදේශයේ පදිංචි යසිත් කාවින්ද යන අය  මහනුවර මහ රෝහලේ  ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.

එම අනතුර ඉකුත් 19දා සිදුව තිබූ අතර අනතුරින් බරපතල තුවාල ලැබූ එම යුද හමුදා සෙබළා පෙරේදා දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් කළේය. 

තිරප්පනය  පොලිස් වසමේ ඇතුන් ගමට දිවෙන අතුරු මාර්ගයේදී ට්‍රැක්ටර් රථයක  කාන්තා යතුරු පැදියක් ගැටී සිදුවූ අනතුරකින් යතුරු පැදිය පැදවූ කාන්තාව ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය කියයි. 

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ  ඔබඩයාගම, පෑතිස්රඹෑව ,මරදන්කඩවල  ලිපිනයේ පදිංචිව සිටි කිරාගේ ඉන්ද්‍රාවතී නැමැති කාන්තාවකි.

එම මාර්ගයේ ඇතුන් ගම සිට තිරප්පනය දෙසට ධවනය වෙමින් තිබූ  ට්‍රැක්ටරයක් පිටුපසින් එම දිශාවටම පැමිණ ඇති යතුරු පැදිකාරිය බෝක්කුවක් අසලදී, ට්‍රැක්ටරය පසුකර යාමට උත්සාහ කිරීමේදී  මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.