ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ ක්‍රියාවලිය ඇරඹේ


(හර්ෂණ තුෂාර සිල්වා)

ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇතැයි ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා අද (12) කොළඹ දී ප්‍රකාශ කළේය. 

ත්‍රිපිටකය යුනෙස්කෝ ලෝක උරුමයක් බවට පත් කරන ලෙස ඉල්ලමින් මාර්තු මස 23 වැනිදා මහනුවර ශ්‍රී දළඳ මාලිගා පරිශ්‍රයේදී අදාළ ලියවිලි යුනෙස්කෝ සංවිධානයට බාර දෙන බව ද හෙතෙම කීය.

කොළඹ, නාරාහේන්පිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා එම කරුණු සඳහන් කළේය.

ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කරන්නේ යුනෙස්කෝ සංවිධානයේ ලිපි ලේඛන උරුම අංශය යටතේ යැයි මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යා සහ සංස්කෘතික සංවිධානයේ (යුනෙස්කෝ) ශ්‍රී ලංකාවේ මහලේකම් ලාල් රත්නවීර මහතා පැවැසීය. 

ස්පර්ශ කළ හැකි, ස්පර්ශ කළ නොහැකි සහ ලිපිලේඛන යන කොටස් තුන යටතේ ලෝක උරුම වර්ගීකරණය කරන බවත් ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කෙරෙනුයේ ලිපිලේඛන හෙවත් ‘යුනෙස්කෝ ලෝක මතක’ වර්ගීකරණය යටතේ යැයි ලාල් රත්නවීර මහතා කීවේය.