ත්‍රස්ත ප්‍රහාරය ගැන සාක්ෂි දෙන්න විජයදාස ත‍්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලය හමුවට


(තිළිණි ද සිල්වා)

පාස්කු ඉරිදා දේවස්ථාන තුනකට සහ හෝටල් තුනක් ඇතුළු ස්ථාන අටකට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කිරීමට ජනාධිපති විසින් පත් කළ විශේෂ ත‍්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලය හමුවේ සාක්ෂි ලබා දීමට ලබන 06 වැනිදා පෙනී සිටින්නැයි දන්වා ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අද (02) කොළඹ දී පැවසීය.

මෙම ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවත් ඔවුන්ට  එරෙහිව නිසි ක‍්‍රියාමාර්ග ගන්නැයි දන්වමින් තමන් දිවයිනේ පොලිස් ස්ථානය හයකට පැමිණිලි හයක් ඉදිරිපත් කළ බවත් ඒ අනුව සාක්කි ලබා දීම සඳහා පැමිණෙන ලෙස එම පරීක්ෂණ මණ්ඩලය දන්වා ඇති බවද පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා කීය.

හෙතෙම මේ බව කියා සිටියේ ‘මහපොළ’ උසස් අධ්‍යාපන භාරකාර අරමුදල සතුව සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දුෂණ හා වංචා සිද්ධීන් පිළිබඳව ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවේ පෙනී සිට සාක්කි ලබා දීමෙන් පසුව එහි සිටි මාධ්‍යවේදීන් අමතමිනි.

එහිදී වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජයදාස රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.

‘‘ශුද්ධවන්ත දිනයක රටේ 300කට ආසන්න ජනතාවක් මරණයට පත්වීම සම්බන්ධයෙන් පැහැදිලිවම පොලිස්පත්වරයා සහ ආරක්ෂක ලේකම්වරයා වගකිව යුතුයි.පැහැදිලිවම ඔවුන් දෙදෙනා සිය රාජකාරීය නිසි ලෙස ඉටු කර නැති බව පෙනෙනවා.

ඔවුන් එලෙස රාජකාරිය පැහැරහැරීම සම්බන්ධයෙන් මා විසින් කොල්ලූපිටිය , වෙරළබඩ පොලිසිය , කටාන පොලිසිය , මඩකලපුව පොලිසිය ඇතුළු දිවයිනේ පොලිස් ස්ථාන 6ක වෙන වෙනම පැමිණිලි ඉදිරිපත් කරා .නිසි ලෙස රාජකාරිය ඉටුනොකිරීම නිසා ඔවුන්ට මරණීය දණ්ඩනය පැනවීමේ නීතිමය ප‍්‍රතිපාදන රටේ තිබෙනවා.

කෙසේවෙතත් මේ බරපතල ව්‍යවසනය සම්බන්ධයෙන් නිසි ලෙස කරුණු පරීක්ෂා කිරීමට ජනාධිපති විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ මහතාගේ ප‍්‍රධානත්වයෙන්  පරීක්ෂ මණ්ඩලයක් පත් කොට මේ වන විට අදාළ පාර්ශ්වයන්ගෙන් සාක්ෂි ලබා ගැනීම සිදුකරමින් සිටිනවා.ඒ අනුව මටත් ලබන 06 වැනිදා එම පරීක්ෂණ මණ්ඩලය හමුවේ සාක්කි ලබා දෙන්නැයි දැනුම් දී තිබෙනවා.

මේ තවුහිද් ජමාද් ඇතුළු මුස්ලිම් අන්තවාදී සංවිධාන වල ක‍්‍රියාකලාපය ගැන මම පළමුවෙන් අනතුරු ඇගවූයේ 2016 වසරේදීයි. නමුත් මා අන්තවාදී අදහස් පතුරමින් එක්සත් ජාතික පක්ෂයේ මුස්ලිම් ඡන්ද පදනමට හානි කරමින් සිටින බවට ගතු කීම නිසා එදා මා අමාත්‍ය තනතුරෙන් ඉවත් කරනු ලැබුවා.නමුත් අද වෙමින් පවතින්නේ මා එදා කියූ දේ යැයිද රාජපක්ෂ මහතා කීය.