ඩුබායි ගිය ගුවන් යානය කාර්මික දෝශයක් නිසා ආපසු කටුනායකට


(ටී.කේ.ජී.කපිල )

පැය 15 කට ආසන්න කාළයක් ප්‍රමාද වී ඩුබායි බලා පිටත්වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය කාර්මික දෝශයකට ලක් වීමෙන් යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත අද (08) දින උදෑසන ගොඩ බස්වා තිබේ .

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 225 දරන ගුවන් යානය ඩුබායි බලා පිටත්ව යාමට නියමිතව තිබුණේ ඊයේ (07) දින සවස 06.25 ටය . එහෙත් මෙම ගුවන් යානය පිටත්ව ගොස් තිබුණේ අද (08) උදෑසන 09.30 ටය .

මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් පැය 01 යි විනාඩි 10 කට පසුව එනම් උදෑසන 10.40 ට යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වා තිබේ . 

ඒ වනවිට මෙම ගුවන් යානය ඉන්දියාව සමීපයට ගමන් කර තිබුණි .

මෙම ගුවන් යානයේ ප්‍රධාන නියමුවා ඉදිරිපිට ඇති වීදුරුව (Windscreen Crack ) ඉරිතැලීමකට ලක් වී ඇති බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළේය .

එනිසා තවදුරටත් ඉදිරියට ගමන් නොකර ගුවන් නියමුවා , තම ගුවන් යානය ආපසු හරවා ගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙම ගුවන් යානය තුළ මගීන් 189 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 15 දෙනෙකු සිට තිබේ .

මෙම ගුවන් ගමන වෙනත් ගුවන් යානයක් යොදවා අද (08) සවස කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව යාමට නියමිත බව ද ගුවන් තොටුපළ ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කළේය .