ට්‍රම්ප් සංක්‍රමණිකයන් ගැන ගත් තීරණය


(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකාවේ නීති විරෝධීව රැඳී සිටි ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය සහ නේපාලය ඇතුළු රටවල් කීපයකට අයත් සංක්‍රමණිකයන් 299 දෙනකු පැනමාවට පිටුවහල් කිරීමට ට්‍රම්ප් පරිපාලනය පසුගියදා පියවර ගත්තේය.

එලෙස පිටුවහල් කළ සංක්‍රමණිකයන් 299 දෙනා පැනමාවේ ඩිකැපොලිස් තරු පන්තියේ හෝටලයේ රැඳවීමට එරට බලධාරීහු කටයුතු කළහ. එම හෝටලය ඉදිරිපිට හමුදා ආරක්ෂාව දැමීමට කටයුතු කර තිබෙන බවත් ඇතැම් සංක්‍රමණිකයන් අපට උදව් කරන්න ලෙස පුවරු හෝටලයේ ජනේල තුළින් ප්‍රදර්ශනය කර තිබූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඩිකැපොලිස් හෝටලයේ රඳවා සිටි පිටුවහල් කළ පිරිස අතරින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කීපයකට අයත් සංක්‍රමණිකයන් 100 දෙනකු තම රටවල් වලට යෑමට අකැමැත්ත ප්‍රකාශ කිරීම හේතුවෙන් ඔවුන් පැනමාවේ ඩේරියන් වනාන්තරය පෙදෙස ආසන්න කඳවුරක් වෙත යැවීමට පැනමා බලධාරීහු කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉතිරි පිරිසෙන් 175 දෙනකු සිය රටට යෑමට කැමැත්ත පළ කර ඇති බවත් 13 දෙනකු මේ වනවිටත් ඔවුන්ගේ රටවල්වලට පිටුවහල් කර අවසන් බවත් විදෙස් මාධ්‍ය පැවැසුවේය.

තම රටට යාමට අකැමැති හෝ එම සංක්‍රමණිකයන් අයත් රටවල් ඔවුන් බාර ගැනීමට අකැමැත්ත පළකළ ආසියානු රටවල් කීපයකට අයත් සංක්‍රමණිකයන් මධ්‍යම ඇමෙරිකානු රටවලට පිටුවහල් කිරීම ඇමෙරිකාව පසුගියදා ආරම්භ කළ අතර ඒ යටතේ මෙම සංක්‍රමණිකයන් 299 දෙනා පැනමාවට පිටුවහල් කරනු ලැබුවේය.