ඥානසාර හිමියන්ගේ සමාව බල රහිත කරන්නැයි ඉල්ලා සන්ධ්‍යා එක්නැලිගොඩගෙන් පෙත්සමක්


(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

ඥානසාර හිමියන් ජනාධිපති සමාව මත නිදහස් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය මඟින් තම මූලික අයිතිවාසිකම් කඩවන බව සඳහන් කරමින් හා ඒ හිමියන්ට ජනාධිපති සමාව ලබා දීම බල රහිත කරන ලෙසට නියෝග කරන ලෙස ඉල්ලා මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ  බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නීතිපති, අධිකරණ අමාත්‍ය, ජනාධිපති ලේකම්, හිටපු පොලිස්පති, වැඩබලන පොලිස්පති, වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

පෙත්සමේ මෙසේද සඳහන් වේ.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සම්බන්ධයෙන් වරදකරු කළ ඥානසාර හිමියන්ට අභියාචනාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර 19 ක සිර දඬවමක් නියම කර එය වසර 6කින් ගෙවී යන ලෙස සිරදඬුවම් නියම විණි.එලෙස සිර දඬුවම් ගත කරමින් සිටියදී ඒ හිමියන්ට ජනාධිපති සමාව ලබා දීමද ඉකුත්දා සිදුවිණි.

එලෙස ඒ හිමියන්ට ජනාධිපති සමාව ලබා දීමට ගත් තීරණය ව්‍යවස්ථාවට පටහැනිවේ.

එබැවින් ජනාධිපතිවරයාගේ මෙම තීරණය මඟින් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට ප‍්‍රකාශ කරන ලෙසද , අදාළ සියලු නිල ලේඛන අධිකරණය හමුවට කැඳවා විමර්ශනයක් පවත්වන ලෙසද ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දීම බල රහිත කරන ලෙසද පෙත්සම්කාරිය සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.