ඥානසාර හිමිගේ සමාව ලබා දීම බලරහිත කරන්නැයි


(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු වි සිරදඬුවම් ලැබ සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දීම බලරහිත කරන්නැයි ඉල්ලා මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ  බිරිඳ හා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ගොනු කළ පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතාගේ නම ඇතුළත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (28) නියෝග කළේය.

මෙම පෙත්සම  බුවනෙක අලුවිහාරේ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද (28) කැදවූ අවස්ථාවේදී මෙම නියෝගය නික--ුත් විණී.

නිතිපතිවරයා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරිල් පුල්ලේ මහතා ප්‍රකාශ කර සිටියේ වත්මන් ජනාධිපති ලේකම්වරයා මෙහි වගඋත්තරකරුවකු ලෙස නම් කර නොමැති බැවින් පෙත්සම කල් තැබිමට සුදුසු බවය.

ඒ අනුව, පෙත්සමවල වගඋත්තරකරු වශයෙන් වත්මන් ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා නම් කර පෙත්සම් සංශෝධනය කිරීමට අවසර දුන් අධිකරණය පෙත්සම යළි මැයි මස 17 වැනිදින කැදවන ලෙසට නියෝග කළේය.
 
ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව දීමට එරෙහිව අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා  එක්නැලිගොඩ මහත්මිය සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය හා එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු ගොනු කළ මෙම මූලික  අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරුකරුවන් වශයෙන් නම් කර තිබුණේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අධිකරණ අමාත්‍ය , ජනාධිපති ලේකම් , හිටපු පොලිස්පති , වැඩබලන පොලිස්පති , වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයා සහ නිතිපතිවරයා ඇතු`ථ පිරිසකි.

සිරදඬුවම් ලැබ සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දීම බලරහිත කරන්නැයි මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ  බිරිඳ මෙම ගොනු කළ පෙත්සම මඟින් ඉල්ලා තිබිණි.

ඒ හිමියන්ට ජනාධිපති සමාව දීමෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් එල්ල වී ඇති බවත් , එම ක්‍රියකලාපය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කොට ඇති මූලික අයිතීන් උල්ලංඝනව වී ඇති බවට තීන්දුවක්  ලබා දෙන්නැයි ඉල්ලා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සිය පෙත්සමෙන් ඉල්ලා තිබිණි.

පෙත්සම් හී  මෙසේද සඳහන් වේ.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සම්බන්ධයෙන් වරදකරු කළ ඥානසාර හිමියන්ට අභියාචනාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර 19 ක සිර දඬවමක් නියම කර එය වසර 6කින් ගෙවී යන ලෙස සිරදඬුවම් නියම විණි.එලෙස සිර දඬුවම් ගත කරමින් සිටියදී ඒ හිමියන්ට ජනාධිපති සමාව ලබා දීමද ඉකුත්දා සිදු විණි.

එලෙස ඒ හිමියන්ට ජනාධිපති සමාව ලබා දීමට ගත් තීරණය ව්‍යවස්ථාවට පටහැනිවේ.

එබැවින් ජනාධිපතිවරයාගේ මෙම තීරණය මඟින් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට ප්‍රකාශ කරන ලෙසද , අදාළ සියලු නිල ලේඛණ අධිකරණය හමුවට කැඳවා විමර්ශණයක් පවත්වන ලෙසද ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දීම බල රහිත කරන ලෙසද පෙත්සම්කරුවන්  සිය පෙත්සම් වලින් වෙන වෙනම  ඉල්ලා ඇත.