ජුලී චංග් ඇමරිකා වෙළෙඳ පොළට දොරක් පෙන්නයි


(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපති ජුලී චංග් (Julie Chung) මහත්මිය සහ විද්‍යාව සහ තාක්ෂණය පිළිබද  ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා අතර සාකච්ඡාවක් කොළඹ  ඇමරිකානු තානාපති කාර්යාලයේදී  සිදු විය.

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ සහ ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම පිළිබඳවත්, ශ්‍රී ලංකාව ඉදිරියේදී හඳුන්වා දීමට නියමිත 'ජාතික පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිපත්තිය' පිළිබඳවත් මෙහිදී අවධානය යොමු කෙරිණි. මෙම කටයුතුවලදී දෙරටට ඒකාබද්ධව ක්‍රියාත්මක කළ හැකි වැඩසටහන් පිළිබඳවත් මෙහිදී විශේෂ අවධානය යොමු විය.

තවද, ශ්‍රී ලංකාවට ඇමරිකානු ආයෝජන ආකර්ෂණය කර ගැනීම උදෙසා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් හුවමාරු විය.  

එසේම 'ජාතික පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිපත්තිය” යටතේ උසස් අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණය, කෘතීම බුද්ධිය (AI) සහ ඩිජිටල්කරණය (digitalization) වැනි නවීන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව වැඩිදියුණු කරගැනීමට ඇති අවස්ථා පිළිබඳවද මෙහිදී සොයා බැලිණි.

ශ්‍රී ලංකාවේ පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාවලිය  ශක්තිමත් කිරීම මගින් ඇමරිකා වෙළඳපොළට පිවිසීමට නව දොරටු විවෘත කරගත හැකි බව මෙහිදී පෙන්වා දුන් ඇමරිකා තානාපති ජුලී චංග් මහත්මිය දෙරට අතර තාක්ෂණික සහ විද්‍යාත්මක සබඳතා වැඩිදියුණු කිරීම සඳහා සහාය ලබා දෙන බවද ප්‍රකාශ කළාය.