
(විමුක්ති එස් රුද්‍රිගු)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල ලබා ගැනීමට අවශ්‍ය විධායක මණ්ඩල අනුමැතිය ලබා ගැනීම සඳහා මූලික අවශ්‍යතාවයක් වන ශ්‍රී ලංකාවේ ණය හිමියන් සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ඇති කැමැත්ත පිළිබඳ සහතික දෙසැම්බර් මාසය මැද භාගය වන විට පුද්ගලික සහ ද්වි පාර්ශ්වික ණය හිමියන්ගෙන් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ඉකුත් 23 වැනිදා ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කළේය.
විධායක මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට ණය තිරසරබව ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නිල ණයහිමියන්ගෙන් මූල්‍ය සහතිකයක් ලබා ගැනීමද ,පෞද්ගලික ණය හිමියන් සමඟ සහයෝගීතා ගිවිසුමකට එළඹීමට සද්භාවයෙන් උත්සාහ දැරීම ද අත්‍යාවශ්‍ය කරුණකි.
ඉකුත් ජූනි මස වන විට ශ්‍රී ලංකාවේ ද්වි පාර්ශ්වික ණය ඇමෙරිකානු ඩොලර් බිලියන 13.8 ක් වන අතර ඉන් ඇමෙරිකානු ඩොලර් බිලියන 9.9 ක් රජය විසින් ලබා ගෙන ඇති ණය වන අතර ඩොලර් බිලියන 4.2 ක් රජය ඇප වී ලබා ගත් ණය වේ.
ශ්‍රී ලංකාව ලබා ගෙන ඇති ද්වි පාර්ශ්වික ණය ප්‍රමාණයෙන් සියයට 95.7 ක් ලබා දී ඇත්තේ රටවල් 10 ක් විසිනි. එම රටවල් 10 අතර පළමු වෙනි ස්ථානයට සියයට 52.0 ක ප්‍රමාණයකට හිමිකම් කියමින් චීනය පැමිණි ඇති අතර සියයට 19.5 ක ප්‍රමාණයකට හිමිකම් කියමින් ජපානය පැමිණ ඇත. එසේම සියයට 12 ක ප්‍රමාණයකට හිමිකම් කියමින් ඉන්දියාව තුන්වෙනි ස්ථානයට පැමිණ ඇත.
මෙම රටවල් 10 අතර සිටින රටවල් අතර සිටින ඉතිරි රටවල් වන්නේ හතරවෙනි ස්ථානයේ සිට පිළිවෙලින් ප්‍රංශය, කොරියාව, ඔස්ට්‍රියාව, ජර්මනිය, එක්සත් රාජධානිය, සෞදි අරාබියාව, ඇමෙරිකා එක්සත් ජනපදයයි.
ද්වි පාර්ශ්වීය ණය හිමියන්ගෙන් මූල්‍ය සහතිකයක් ලබා ගැනීම යනු ශ්‍රී ලංකාවට සාර්ව ආර්ථික රාමුවට ගැළපෙන පරිදි ලබා ගෙන ඇති ණයට විසඳුමක් ලබා දීමට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර වැඩසටහනේ සඳහන් ණය තිරසරභාවය ඇති කර ගැනීම සඳහා ඇති බාධක වලට විසඳුමක් ලබා දීමට ණය හිමියන්ගේ කැපවීම වේ.
ශ්‍රී ලංකාව ඉකුත් ජූනි මස වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 46.6 ක විදේශ ව්‍යවහාර මුදල් ණය ගෙන තිබෙන බවත් ඉන් ඩොලර් බිලියන 37.9 ක් මධ්‍යම රජය ලබා ගෙන ඇති බවත් ඩොලර් බිලියන 5.5 රජය ඇපවී රජය ව්‍යවසායන් ලබා ගත් ණය බවත් ඉතිරි ඩොලර් බිලියන 3.2 ශ්‍රී ලංකා මහ බැංකුව ලබා ගෙන ඇති බවත් ඉකුත් 24 වැනිදා පැවති සාකච්ඡාවේදී රජය අනාවරණය කළේය.
මිට අමතරව ජූනි මස අවසන් වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 19.2 ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ශ්‍රී ලංකාව ලබා ගෙන තිබෙන බව රජය පැවසුවේය.

