
(උපුල් හේරත් සහ බී.ජී.චතුරංග)
අනුරාධපුර පූජා නගරයේ පාෂාණ ලෙන නැරඹීමට ගිය 52 හැවිරිදි ජපන් ජාතික කාන්තාවකට දේශීය ආයුර්වේද සම්භාහනයක් කරන මුවාවෙන් හිස මසාජ් කරන අතරතුර ඇගේ පියයුරු මිරිකා ලිංගික අතවරයක් සිදු කළ, සංචාරක මගපෙන්වන්නකු ලෙස පෙනී සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, අනුරාධපුර සංඝමිත්තා මාවතේ පදිංචි පුද්ගලයකු බව පොලීසිය කියයි.
මෙරට සංචාරයක් සඳහා පැමිණ කොළඹ, දඹුල්ල, මහනුවර සහ අනුරාධපුර සංචාරය කර ඉකුත් 22 දා නැවත අනුරාධපුරයට පැමිණ පාපැදියකින් මෙම විදෙස් කාන්තාව පූජා නගරයේ සංචාරය කරන අතරවාරයේ දී මෙම සිද්ධියට මුහුණ පා ඇති බව පොලීසිය කියයි.
සඳකඩ පහණ නරඹා ඒ අසල ඇති, දිග පාෂාණ ලෙන නැරඹීමට යාම සදහා මාර්ගය සොයා ගැනීමට නොහැකිව රැඳී සිටියදී එම ස්ථානයට පැමිණි මග පෙන්වන්නා යැයි කියන පුද්ගලයා පාෂාණ ලෙන පෙන්වීමෙන් අනතුරුව මෙම අතවරය සිදු කර ඇති බව පොලීසිය කියයි.

