ජනාධිපතිට අපහාස වන අත්පත්‍රිකා 600 ක් සමග 3ක් අල්ලයි


(ඉන්දිකා රාමනායක සහ නාලක දහනායක)

පොලිස්පතිවරයා අනිවාර්ය නිවාඩු  යැවීමේ සිද්ධිය ඇතුලු සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන්  ජනාධිපතිවරයාට  අපහස වන අන්දමේ අත් පති‍්‍රකා 600 ට අධික ප‍්‍රමාණයක් තැපැල් කිරීමට පැමිණි  පුද්ගලයින් තිදෙනෙක් අද (02) අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය කියයි.

ඔවුන් ප‍්‍රබල අමාත්‍යවරයකුගේ මාධ්‍ය ලේකම් ඇතුලු තිදෙනකු බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙම සැකකරුවන්  තිදෙනා මෙම ලිපි තොගය  තැපැල් කිරීමට මධ්‍යම තැපැල් හුවමාරුවවෙත පැමිණ ඇති අතර එහි පොලිස් මුරපොලේ රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරීන්ට මෙම ලිපි තොගය පිළිබඳව සැක සිතී  එක් ලිපියක් කඩා පරීක්ෂා කිරීමේ දී  මෙම මඩ පති‍්‍රකාව හමුවී ඇති බවද එම උසස් පොලිස් නිලධාරියා කීය.

ජනාධිපතිවරයාට අපහාස වන අන්දමේ  අන්තර් ජාලයේ තිබු  ප‍්‍රකාශයක් මොවුන්  ඡායා පිටපත් කරගෙන මෙලෙස  තැපැල් කිරීමට පැමිණ ඇති බවද පොලිස් ආරංචි මාර්ග කියයි.

මෙම ලිපි මහනුවර ප‍්‍රදේශයේ විහාරස්ථාන සහ පුද්ගලයන් වෙත  තැපැල් කිරීමට නියමිතව තිබු බවද පොලිසිය පවසයි.

කොළඹ මධ්‍යම කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපාලි ජයසිංහ මහතාගේ උපදෙස් මත කොටුව පොලිස් ස්ථාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සාගල ලියනගේ මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වේ.

සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට  භාර දීමට නියමිතව ඇත.