ජනාධිපති වවුනියාවේ සංචාරයක


(සිතුම් චතුරංග)

ජනාධිපති කාර්යාලයේ උතුරු පළාත් සංවර්ධන විශේෂ ඒකකයේ වවුනියාව දිස්ත්‍රික් කාර්යාලය විවෘත කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(19) වවුනියාවේදී සිදුකෙරිණ.

ජනාධිපති කාර්යාලයෙන් ඉටුකෙරෙන සේවාවන් අධීක්ෂණයට හා කාර්යක්ෂම තාව ඉහල නැංවීම සඳහා දිවයින පුරා ව්‍යාප්ත කිරීමේ අරමුණින් මෙම කාර්යාලය විවෘත කිරීම සිදුකෙරිණ.

විවෘත කිරීමේ අවස්ථාවට සමගාමීව යුද්ධයෙන් පීඩාවටපත් නැවත පදිංචි ජනතාව වෙත ඉඩම් ඔප්පු පිරිනැමීම , රාජ්‍ය සේවකයින් වෙත ඉඩම් ඔප්පු ලබාදීම හා ගොවීන් වෙත පොහොර බෙදාදීමද එහිදී සිදුවිය.

ආහාර සුරක්ෂිතතාව පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැණුවත් කිරීම හා දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීමද වැඩසටහනට සමගාමීව පැවැත්විණ.

වැඩසටහන් අවස්ථාව සඳහා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා , නාගරික සංවර්ධන අමාත්‍ය තේනුක විදානගමගේ, ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්තිරන් , සෙල්වම් අඩෙක්කලනාදන් හා ඊලාම් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.තිලීපන් යන වවුනියාව දිස්ත්‍රික් ලේකම් පි.ඒ. සරත්චන්ද්‍ර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.