ජනවාරි 1 දා රට පුරා රාජ්‍ය ආයතනවල සුබ මොහොතින් පැළ සිටුවයි


( +++ ජයන්ත සමරකෝන්)

එළඹෙන ජනවාරි පළමු වැනිදා මුළු දිවයිනම ආවරණය වන පරිදි රාජ්‍ය ආයතන පරිශ්‍රවල රුක් රෝපණ වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ කටයුතු යොදා ඇත.

එදින පෙරවරු 9.49 ට යෙදෙන සුබ මොහොතින් පැළයක් සිටුවා නව වසරේ රාජකාරි කටයුතු ආරම්භ කරන්නැයි නිලධාරීන්ට දැනුම් දුන් බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ලංකාදීපයට පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව මෙම වැඩ සටහන ක්‍රියාත්මක බවද අමාත්‍යවරයා කීය.

මෙම වැඩසටහන ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් පළාත් පාලන ප්‍රධානීන් දැනුම්වත් කර ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙය සියලුම රාජ්‍ය ආයතන වල අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන ලෙස ද අමාත්‍යවරයා ආයතන ප්‍රධානීන්ට උපදෙස් දී ඇත.