ජංගම එක්ස් කිරණ යන්ත්‍ර මේ හදිසියේ ඕන නෑ


(සජීව විජේවීර)

කොරෝනා ‍රෝගය මර්ධනය කිරීමේ හදිසි අවශ්‍යතාවක් ලෙස ජංගම X-Ray යන්ත්‍ර මිලදී ගැනීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ද පිටපත් සහිතව සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය මිගන් යුනිසෙෆ් ආධාර මුදල් භාවිතා කරමින් අතේ ගන යා හැකි විකිරණ යන්ත්‍ර 50ක් හදිසි අවශ්‍යතාවක් ලෙස සඳහන් කරමින් මිලදී ගැනීමේ දී බරපතල වංචාවක් සිදුවෙමින් පවතින බවයි. අප්‍රේල් මස 17 වැනි දින සඳහන්ව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ධරමකීර්ති ඈපා මහතාගේ අත්සනින් මෙම ලිපිය ඉදිරිපත් කර ඇති ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙම මිලදී ගැනීම නතර නොකළහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට හෝ එම විකිරණ යන්ත්‍ර භාවිතයෙන් වැළකීමට හෝ විකිරණවේදීන් කටයුතු කරන බවයි.

ඔවුන් පවසන්නේ දැනටමත් චීන ව්‍යාපෘතියක් මගින් ලබාදුන් ඉතා ඉහළ ගුණාත්මක බවකින් යුතු ජංගම විකිරණ යන්ත්‍ර 40ක් සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව පවතින බවයි. එම යන්ත්‍ර රොහල්වෙත බෙදා දී අවසන්ව නොමැතිබව ද ඔවුන් පවසයි

එමෙන්ම අලුතෙන් මිලදී ගැනීමට තීරණය කර ඇති ජංගම විකිරණ යන්ත්‍ර තීරණය කිරීමේ තාක්ෂණික කමිටුව සඳහා  මෙම යන්ත්‍රවල අවසන් භාවිතකරු වන විකිරණ වේදීන් සහභාගී කරගෙන නැතැයි ද ඔවුන් ලිපිය මගින් පෙන්වා දී ඇත. එමෙන් ම මිලදී ගැනීමට උත්සාහ ගන්නා යන්ත්‍රවල විකිරණ අවදානම අධික බවත් ඒවා නිපදවා ඇත්තේ දුෂ්කර මෙ‍ෙහයුම් කටයුතු සහ සතුන්ගේ විකිරණ පිටපත් ගැනීම වැනි කටයුතු සඳහා බවත් විකිරණවේදීන්ගේ සංගමය පවසයි.

මෙම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙම යන්ත්‍ර මිලදී ගැනීමට සූදානම් වන්නේ වෙළෙඳ පොළ දැනට පවතින මිලට වඩා වැඩි මිළකට බවයි. මෙම කරුණු පිළිබඳ අවධානය යොමුකර ජංගම විකිරණ යන්ත්‍ර මිලදී ගැනීම නවතා  දැනට භාවිතයේ ඇති ජංගම විකිරණ යන්ත්‍ර සඳහා අඩුපාඩුවක්ව පවතින Digital Detectors මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු යොදන ලෙසත් එම සංගමය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිරආරච්චි මහත්මියගෙන් ඉල්ලා සිටියි.