(මහින්ද නිශ්ශංක)
යාපනය සහ චෙන්නායි අතර ගුවන් ගමන් වසර දෙකකට පසුව යළි හෙට සිට ආරම්භ කරන බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි .
ඒ අනුව චෙන්නායි ගුවන් තොටුපලේ සිට යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල දක්වා මගීන් රැගත් ගුවන් යානයක් හෙට පෙරවරු 10 : 50ට යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ළඟා වන බව යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ මෙහෙයුම් කළමනාකාර ලක්ෂ්මන් වන්සේකර මහතා පැවසීය .
2019 දී චෙන්නායි සහ යාපනය අතර ගුවන් ගමන් ආරම්භ කළ ද කොරෝනා වසංගත ව්‍යාප්තියත් සමග දෙරට අතර ගුවන් ගමන් තාවකාලිකව අත්හිටවනු ලැබීය .
චෙන්නායි ගුවන් තොටුපලේ සිට එලායන්ස් එයාර් ගුවන් සමාගමට අයත් ගුවන් යානය හෙට (12 ) පෙරවරු 10:50 ට පමණ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළඟා වී පැයක පමණ කාලයකින් පසු යළි පෙරවරු 11:50ට චෙන්නායි බලා පිටත් වීමට නියමිත බව පැවසූ මෙහෙයුම් කළමනාකාර ලක්ෂ්මන් මහතා සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවල දෙරට අතර ගුවන් ගමන් ක්‍රියාත්මක වන බවද පැවසීය .
මේ අතර යාපනය ගුවන් තොටුපලේ ගුවන් ගමන යළි ආරම්භ වීමත් සමග ගුවන් තොටුපලෙහි රේගු කටයුතු ස්ථාපිත කෙරෙන අතර ඒ සඳහා 14 දෙනෙකු ගෙන් සමන්විත රේගු කාර්ය මණ්ඩලයක් අද කොළඹින් පිටත්ව ගිය බව නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක (ප්‍රාදේශීය සේවා) ඩී.ඒ.එම්.ආර්. සාගර මහතා පැවසීය .

