චාර්මස් ධාන්‍යාගාර ඉඩම බදු දෙන්න යයි


(අංජුල මහික වීරරත්න)

කොළඹ කොටුව, ඕල්කට් මාවතේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් චාර්මස් ධාන්‍යාගාරය නමැති ඉඩම සඳහා ආයෝජන යෝජනා කැඳවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ කොටුව, ඕල්කට් මාවතේ පිහිටි චාර්මස් ධාන්‍යාගාරය නමැති අක්කර 09 රූඩ් 02 පර්චස් 31.75 (හෙක්ටයාර් 3.9248) ඉඩම කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය සඳහා 2022-2031 කාල පරිච්ඡේදයට අදාළව පිළියෙල කර ඇති සංවර්ධන සැලැස්මේ සංගත මිශ්‍ර සංවර්ධන කලාපය තුළ පිහිටා තිබේ. 

නේවාසික, සෞඛ්‍ය, කාර්යාල හා ආයතනික, වාණිජ, අධ්‍යාපනික, පාරිභෝගික සේවා මධ්‍යස්ථාන, සංචාරක, විනෝදාත්මක හා වෙනත් ක්‍රියාකාරකම් ඇතුළු සංගත මිශ්‍ර සංවර්ධන කලාපය තුළ අවසර ලත් භාවිතයන් අතුරින් මුල්‍ය, පාරිසරික හා සාමාජීය වශයෙන් ඉහළ විභවතාවක් සහිත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා එකී ඉඩම බදු පදනම මත බැහැර කිරීම යෝග්‍ය බවට හඳුනාගනු ලැබ ඇත.

 ඒ අනුව, රජයේ ප්‍රධාන තක්සේරුකරුගේ යාවත්කාලීන තක්සේරු වටිනාකම මත පදනම්ව අදාළ ඉඩම 99 අවුරුදු බදු පදනම මත බැහැර කිරීම සඳහා, උනන්දුවක් දක්වන ආයෝජකයින් වෙතින් ආයෝජන යෝජනා කැඳවීම පිණිස නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.