ගෝඨාභය යාපනය උසාවියට කැඳවයි


එෆ්.අස්ලම්


පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ  ක්‍රියාකාරින් දෙදෙනෙකුගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සිදුකෙරෙන නඩුවකට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජූනි 21 වැනි දා යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස යාපනය මහේස්ත්‍රාත් පීටර් පෝල් මහතා අද (3) නියෝග කළේය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීන් වන ලලිත් වීරරාජ් සහ කුගන් මුරුකානන්දන් යන දෙදෙනා 2011 වසරේ දෙසැම්බර් යාපනය නගරයේ පැවති අතුරුදන් වූවන්ගේ ඥාතී විරෝධතාවකින් පසුව අතුරුදන් වී ඇත.

මෙම අතුරුදන් වීම අතුරුදන් කිරීමක් බවට චෝදනා කරමින් ලලිත් සහ කුගන් දෙදෙනාගේ ඥාතීන් විසින් 2012 වසරේ අභායාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබුණු අතර අභියාචනාධිකරණය විසින් එහි විභාගය සිදුකර වාර්තාවන් ඉදිරිපත් කරන ලෙසට  යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දී තිබිණි.

මේ අනුව යාපනය මහේස්ත්‍රාත් අධිකරණය 2012 සැප්තැම්බර් 19 වැනි දා මෙම පෙත්සම විභාගයට ගත් අතර එම පෙත්සමට අදාළ නඩු විභාගයේ සාක්කි ලබාදීම සඳහා අද (3)  අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ගෝඨාභය රාපක්ෂ මහතාට නොතීසි නිකුත් කර තිබුණේ පසුගිය නඩුවාරයේ දී ය.

කෙසේ නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා අද අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කර සිටියේ රට තුළ උද්ගත වී තිබෙන අනාරක්ෂිත තත්වය තුළ සිය සේවාදායකයා අධිකරණය හමුවේ ඉදිරිපත් නොවූ බවයි. මීළඟ නඩු වාරයේදී රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී සිටින බවයි.

මේ අනුව නඩුව ලබන ජූනි 21 වැනි දාට කල් තැබූ යාපනය මහේස්ත්‍රාත්වරයා ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කළේය.