ගෝඨාගේ පෙත්සම ගැන තීන්දුවට දින නියම කිරීම 17 වැනිදා


(තිළිණි ද සිල්වා සහ  රංජන් කටුගම්පොළ)
 
ඩී.ඒ .රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය   ඉදිකිරීම සඳහා රජයේ මුදල් රුපියල් මිලියන 33.9 ක් සාපරාධී   පරිහරණය කිරීම ඇතුළු චෝදනා විභාගයට ගැනීමට විශේෂ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයට බලයක් තිබෙනවාද  නැද්ද  යන්න පිළිබඳ නියෝග ප‍්‍රකාශ්‍යට පත් කිරීමට දින නියම කිරීම සඳහා  රිට් පෙත්සම් ලබන 17 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද ( 06) නියෝග කළේය.
 
මෙම පෙත්සම අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
 
වීරකැටිය මැදමූලන ඞී.ඒ .රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් මිලියන 33.9 ක මුදලක් සාපරාධී ලෙස පරිහරණය කිරීම ඇතුළු අධි චෝදනා හතකට ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ තමන්ට එරෙහිව ගොනු කර ඇති නඩුව විභාගයට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා   මෙම රිට් පෙත්සම ගොනු කර ඇත.
 
මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් හැටියට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විනිසුරුවරුන් වන සම්පත් බී. අබේකෝන්, එම.එස් .කේ.බී විජේරත්න, චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීහු සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.