ගොවීන් සියයට 95කට පෝර ගන්න දුන්න සල්ලි වතුරේ


(අංජුල මහික වීරරත්න)

පසුගිය මහ කන්නයේ දී පොහොර මිල දී ගැනීම සඳහා ගොවි ජනතාවට ලබා දුන් මුදල් වලින් පොහොර මිල දී ගෙන තිබෙන්නේ ගොවීන්ගෙන් සියයට පහක් පමණක් බව හෙළි වී තිබෙි.

2022/23 මහ කන්නයේ දී බන්ඩි පොහොර මිල දී ගැනීම සඳහා ආසියා සංවර්ධන බැංකුව විසින් රුපියල් බිලියන අටක මුදලක් රජයට ලබා දුන් අතර එම මුදල් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ගොවි ගිණුම් වලට මුදල් බැර කරනු ලැබීය.

 හෙක්ටෙයාර් එකක් සඳහා රුපියල් 10,000ක් බැගින් හා හෙක්ටෙයාර් දෙකක් සඳහා රුපියල් 20,000ක් වශයෙන් ලබා දුන් එම මුදල් වලින් බන්ඩි පොහොර මිල දී ගැනීම සඳහා කටයුතු කර තිබෙන්නේ ගොවීන් සියයට පහක් පමණක් බව අනාවරණය විය.

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් බන්ඩි පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් ආනයනය කළ ද ගොවීන් එයින්  මිල දී ගෙන තිබෙන්නේ සමස්ත ප්‍රමාණයෙන් සියයට පහක් පමණක් බව රජයට අයත් පොහොර සමාගම් දෙකේ සභාපතිවරුන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පෑවති සාකච්ඡාවක දී පවසා ඇත.