(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රාජ්‍ය අමාත්‍යවරයෙක් කටුනායක ගුවන් තොටුපළේ දී සුළු සේවයකයකුට පහරදීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන්නේ නැද්දැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (22) ප්‍රශ්න කළේය.
මෙවැනි දේකටත් නීතිය ක්‍රියාත්මක වන්නේ නැතිනම් මීට වඩා ලොකු දේකට කවර නීතියක් දැයි කිරිඇල්ල මහතා විමසීය.
මේ කාරණය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා පිළිතුරක් ලබාදිය යුතුව ඇතැයිද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය.
අලුත් නීති 75ක් සම්මත කරගත් බව ජනාධිපතිවරයා මෑතකදී ප්‍රකාශයක් කර තිබූ බව කී කිරිඇල්ල මහතා වැදගත් වන්නේ නීති ගෙන ඒම නොව ඒවා ක්‍රියාත්මක කිරීම බවද සඳහන් කළේය.
ආණ්ඩුවේ විරුද්ධවාදීන්ට පමණක් නීතිය ක්‍රියාත්මක වන්නේ යැයිද ආණ්ඩු හිතවාදීන්ට නීතිය ක්‍රියාත්මක වන්නේ නැතැයිද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය.
ගුවන් තොටේ සුළු සේවකයකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ නීතිය ක්‍රියාත්මක කරන්නේ අධිකරණ අමාත්‍යවරයා නොවන බවයි.
පොලිසියට පැමිණිල්ලක් ලැබුණු පසු පොලිසිය විසින් නීතිය ක්‍රියාත්මක කළ යුතුව තිබෙන බවද අධිකරණ අමාත්‍යවරයා කීය.

