ගුවන් තොටුපොළ පිරිසිදු කිරීමේ සේවිකාවක් රත්තරන් සමග මාට්ටු


(ටී.කේ.ජී.කපිල )

 රුපියල් පන් කෝටි අසූ ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ සහ රත්තරන් ජෙල් තොගයක් , කටුනායක ගුවන් තොටුපොළ පෞද්ගලික පිරිසිදු කිරීමේ ආයතනයක සේවිකාවක විසින් , ගුවන් තොටුපොළෙන් පිට කිරීමට රැගෙන යමින් සිටියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (10) දින පෙරවරුවේ අත් අඩංගුවට ගෙන තිබේ .

ඇය 55 හැවිරිදි වියේ පසු වන වේයන්ගොඩ , මිරිදියලන්ද ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි .

කටුනායක ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ  වැසිකිළියක් තුළ දී අද පෙරවරුවේ මෙම ස්වර්ණාභරණ සහ ජෙල් තොගය අඩංගු පාර්සලය කාන්තාවක විසින් ලබා දී තිබූ අතර , එය ගුවන් තොටුපොළෙන් පිටත සිටින පුද්ගලයෙකු වෙත ලබා දුන් පසු , ඇයට රුපියල් හැට දහසක මුදලක් ලබා දෙන පොරොන්දුව මත තමන් මෙම පාර්සලය රැගෙන ගිය බව  මෙම පිරිසිදු කිරීමේ  සේවිකාව රේගුව හමුවේ ප්‍රකාශ කර තිබේ .

මෙසේ අත් අඩංගුවට ගත් පාර්සලය තුළ කිලෝ ග්‍රෑම් 01 යි  ග්‍රෑම් 400 ක් බරැති ස්වර්ණාභරණ තොගයක් සහ කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 350 ක් බරැති රත්තරන් ජෙල් තොගයක් තිබී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ . මෙම රත්තරන් ජෙල් තොගය තුළ 95% ක ප්‍රතිශතයක ප්‍රමාණයකින් පිරිසිදු රත්තරන් ඇති බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීවරයෙකු පැවසීය .

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් මෙම සේවිකාව අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ .