ගුරු යුවළ නි.විදුහල්පති පැහැරගෙන ගොස් පහරදීලා


 

(ගයාන් සූරිය ආරච්චි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

බියගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ විදුහලක  නියෝජ්‍ය විදුහල්පතිවරයකු ජීප් රථයකින් පැහැරගෙන ගොස් පහර දුන් බව කියන ගුරු යුවළක් අත්අඩංගුවට ගත් බව බියගම පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සියඹලාපේ ප්‍රදේශයේ පදිංචි 37 සහ 32 හැවිරිදි ගුරු වෘත්තියේ නියුතු යුවළකි.

පහර කෑමට ලක් වූ නියෝජ්‍ය විදුහල්පතිවරයා සහ සැකකාර ගුරුවරයා එකම විදුහලේ සේවය කරනු ලබන  අතර සැකකාර ගුරුවරිය ප්‍රදේශයේ වෙනත් පාසලක සේවය කරන බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පහර කෑමට ලක් වූ නියෝජ්‍ය විදුහල්පතිවරයා විසින් සැකකාර ගුරුවරයාගේ බිරියට දුරකථන ඇමතුම් ලබාදී සැකකාර ගුරුවරයා පාසලේ ගුරුවරියක් සමග අනියම් සම්බන්ධයක් පවත්වන බවට පවසා ඇති අතර පසුව සැකකාර ගුරුවරයා සහ ඔහුගේ බිරිය එක්ව නියෝජ්‍ය විදුහල්පතිවරයා පැහැරගෙන ගොස් පහර දීමට සැලසුම් කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.