(යොහාන් භාසුර)
වර්තමාන ගෑස් හිඟය සහ පෝලිම් පිළිබඳව අවධානය යොමු කර තාවකාලික ගෑස් සැපයුම සඳහා ඕ.කිව්. ට්‍රේඩින් සමාගම සමඟ ගිවිසුම්ගත වීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවත් සියම් සමාගමේ කොන්ත්‍රාත්තුව අවසන් කර ශ්‍රී ලංකාව මුහුණදී සිටින ආර්ථික අර්බුදය සැලකිල්ලට ගෙන ක්‍රියාකළ හැකි වන පරිදි ටෙන්ඩර් කැඳවීමට උපදෙස් ලැබුණු බවත් ලිට්‍රෝ සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ලිට්‍රෝ සමාගම 2022-2023 වසර සඳහා ගෑස් මෙට්‍රික්ටොන් 280,000 ක් මිලදී ගැනීමට කැඳවූ ටෙන්ඩරයට පසුගිය මාර්තු මස 16 වැනිදා අවසන් වූ බවත් ඒ සඳහා සැපයුම්කරුවන් තිදෙනෙක් මිල ගණන් ඉදිරිපත් කර තිබූ බවත් ලිට්‍රෝ සමාගම පවසයි.
අමාත්‍යංශ ප්‍රසංපාදන කමිටුව එම සැපයුම්කරුවන් අතරින් සියම් ට්‍රේඩින් සමාගම අදාල වර්ෂය සඳහා සැපයුම්කරු ලෙස නම් කළ පසු ගිවිසුම් ප්‍රකාරව සියම් සමාගම වෙනුවෙන් ඩොලර් මිලියන 30 ක ණයවර ලිපියක් විවෘත කිරීමට නොහැකි වීම නිසා විකල්ප ගෑස් මිලදීගැනීමට මිල කැඳවූ බවත් සියම් සමාගමේ ආර්ථික තත්වය හමුවේ ඔවුන්ට නෞකා ගාස්තු ඩොලර් 112 බැගින් ගෑස් මෙට්‍රික්ටොන් 6,600 ක් පමණක් සැපයිය හැකි බව දන්වා තිබූ බවත් එම නිවේදනයේ සඳහන්ව තිබේ.
මිල ගණන් කැඳවීමේදී දෙවැනි අඩු මිල ගණන් සැපයූ ඕ.කිව්. ට්‍රේඩින් මාස හතරක ගෑස් අවශ්‍යතාව වන මෙට්‍රික්ටොන් ලක්‍ෂයක් නෞකා ගාස්තු ඩොලර් 129 බැගින් ලබාදිය හැකි බව දැනුම් දුන් බව කියන ලිට්‍රෝ සමාගම ඕ.කිව්. ට්‍රේඩින් සහ සියම් සමාගම අතර නැව් ගාස්තු පරතරය ඩොලර් 17 ක් වීම නිසා එය කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයකට රුපියල් 77.50 ක බලපෑමක් ඇති වුවද ඊට වඩා සැපයුම ලබාදීම වඩාත් වැඳගත් බවත් ලිට්‍රෝ සමාගම වැඩි දුරටත් කියයි.