ගම්පහ නීතිවිරෝධී සුරාසැල් වටලන්න මෙහෙයුමක්


(ජයන්ත සමරකෝන්)

ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම නීතිවිරෝධී මත්පැන්  අලෙවිසැල් වැටලීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

මීරිගම බාඳුරාගොඩ නීතිවිරෝධී කසිප්පු තිප්පොලකින් කසිප්පු බීමෙන් පුද්ගලයින් 11 දෙනෙක් මියගොස් 20 දෙනෙකු රෝහල් ගත කිරීමේ සිද්ධිය හේතුවෙන් සුරාබදු දෙපාර්තමේන්තුව මෙම මෙහෙයුම ආරම්භ කර ඇත.

ගම්පහ සුරාබදු සහකාර කොමසාරිස් ධර්මකීර්ති මහතාගේ මගපෙන්වීමෙන් ගම්පහ, ජාඇල, මීගමුව, මීරිගම, දිවුලපිටිය සුරාබදු ස්ථානවලින් කණ්ඩායම් පහක් ඊයේ (04) සිට පැය 24 කාලය පුරා මෙම වැටලීම් සඳහා යොදවා ඇතැයි නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවැසීය.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් මෙම නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම මුලුමනින්ම තුරන් කිරීම මෙහි අරමුණ බවද ඒ මහතා කීය.

මෙම වැටලීම අඛණ්ඩව දිවයින පුරා සිදුකරන බවද වැරදි කරුවන්ට නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවද ඔහු පැවැසීය.