ගත්ත ණය ගෙවන්න බංග්ලාදේශය කල් දෙයි


(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් විදේශ මුදල් හුවමාරු පහසුකම යටතේ ලබාගෙන ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක ණය මුදල ආපසු ගෙවීම සඳහා තවත් මාස හයක කාලයක් ලබා දීමට බංග්ලාදේශ රජය තීරණය කර ඇත.

ලබා ගත් ණය මුදල සඳහා පළමු වාරිකය පසුගිය මාර්තු මස ගෙවීමට තීරණය කර තිබුණත් ඒ වනවිට ණය ප්‍රතිව්‍යුහගත කර නොතිබීම හේතුවෙන් පළමු වාරිකය ගෙවීමට ශ්‍රී ලංකාවට නොහැකි වී තිබේ.ලබා දුන් ණය මුදල සඳහා පළමු වාරිකය එළඹෙන අගෝස්තු මාසයේදීත් දෙවන වාරිකය සැප්තැම්බර් මාසයේදීත් ගෙවීමට ශ්‍රී ලංකාව සුදානම් බව බංග්ලාදේශ මහ බැංකු අධිපති අබ්දුර් රවුෆ් තලුක්දර් මහතා පවසා ඇත.

වොෂින්ටනයේ පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වසන්ත රැස්වීම් වලට සමගාමීව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සමඟ පැවති හමුවකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් තලුක්දර් මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

ණය ගෙවීමේ කාලය දීර්ඝ කරන විට කිසිඳු ගාස්තුවකින් තොරව එය සිදු නොවන බවත් ණය මුදල සඳහා තවත් පොලිය එකතු වන බවත් තලුක්දර් මහතා පෙන්වා දී ඇත.ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සමඟ පැවති සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවට ණය මුදල ගෙවීම සඳහා තවත් කාලය දීර්ඝ කිරීමක් අවශ්‍ය නොවන බවට වීරසිංහ මහතා සහතික වූ බව තලුක්දර් මහතා පවසා තිබේ.