ගංගාරාම ‘බුද්ධ රශ්මි’ වෙසක් කලාපයෙන්


(යොහාන් භාසුර)

වෙසක් උත්සවය වෙනුවෙන් කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන බුද්ධ රශ්මී වෙසක් කලාපයේ රාත්‍රී පෙරහැර ශ්‍රී ලංකා නාවික හමුදා බෞද්ධ සංගමයේ මූලිකත්වයෙන් උත්කර්ශවත් ලෙස පැවැත්විණි.

හුණුපිටිය ගංගාරම විහාරස්ථානයේ විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ උපදෙස් සහ මඟ පෙන්වීම යටතේ එම පෙරහැර සංවිධානය කළේය.

ගංගාරාම විහාරස්ථානයේ සිට එම විහාරස්ථානයේ සීමාමාලකය වෙත විචිත්‍රවත් පෙරහැරකින් වැඩම කළ සධාතුක කරඬුව බෞද්ධාගමික වත් පිළිවෙත්වලට අනුකූලව සීමාමාලකයෙහි තැන්පත් කිරීම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා වෙතින් සිදුවිය.

පෙරහැර අවසානයේ අනුශාසනාව සිදුකළ ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ, මෙවර බුද්ධ රශ්මී වෙසක් කළාපය සාර්ථකව පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව දැක්වූ දායකත්වය ඇගයීය.

එදින රාත්‍රියේ බුද්ධ රශ්මී වෙසක් කලාපය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වයෙන් බොදු බැතිගී ගායනා, සැරසිලි සහ සංස්කෘතික සංදර්ශන නැරඹීම සඳහා නාවික හමුදාධිපතිවරයා සමඟ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී, මාලා ළමාහේවා මහත්මි, නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු හා නාවික හමුදා බෞද්ධ සංගමයේ සභාපති රියර් අද්මිරාල් රවී රණසිංහ මහතා ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ බටහිර නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් එක්ව සිටියහ.