කෝවිඩ් ආසාදිතයෙකුගේ දේහය ආදාහනයට පුතා විරුද්ධ වෙයි



 (ලලිත් චාමින්ද )
 
කොරෝනා වයිරසය ආසාදිතව මිය ගිය තිදරු පියාගේ දේහය නිරෝධායන නීති යටතේ රජයේ නියමයන්ට අනුව ආදාහනය කරන ලෙස ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන හදිසි මරණ පරික්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා  නියෝග කර තිබියදී, ආදාහනය කරන්නේ නම් දේහය බාරනොගන්නා බව මිය ගිය අයගේ පුතා සඳහන් කර තිබේ.
 
මෙලෙස මියගොස් ඇත්තේ (84) හැවිරිදි මුස්ලිම් ජාතිකයෙකි. තිදරු පියෙකු වන අතර, කොරෝනා වයිරසය ආසාදිතව සිට හෘද රෝගයක් හේතුවෙන් මිය ගියේය.
 
මෙකි පුද්ගලයා මිය යාමෙන් පසු කරණු ලැබු පී.සී.ආර් පරීක්ෂණයේ දි ඔහුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇති බවද හදිසි මරණ පරික්ෂකවරයා පැවසීය. ඔහුගේ හදිසිමරණ පරීක්ෂණය  ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවැත්විණි. විශේෂඥ අධිකරණ වෛද්‍ය වාර්තා සහ පී.සී. ආර් පරීක්ෂණ වාර්තා සැලකිල්ලට ගෙන තමන් මෙම තින්දුව ලබාදුන් බවද  හදිසිමරණ පරික්ෂකවරයා සදහන් කළේය.
 
සිරුර භුමදානය කිරීම සදහා අවසර ලබාදෙනවානම් එය බාරගන්නා බවත් එසේ නොමැතිව ආදාහනාගාරය කිරීමට දෙනවානම්  එය බාර නොගන්නා බව ප්‍රකාශකරමින් මියගිය  අයගේ පුතෙකු ප්‍රකාශකොට හදිසි මරණ පරික්ෂක කාර්යාලයෙන් පිටව ගිය බවද හදිසි මරණ පරීක්ෂකවරයා සදහන් කළේය.
 
මියගිය පුද්ගලයාගේ පුතෙකුවන මොහොමඩ් හනුසි  මොහහොමඩ්යයිල්  (53) නැමැත්තා  හදිසි මරණ පරීක්ෂණයේ දි සාක්ෂි දෙමින් මෙසේ කිවේය.
 
"මියගොස් ඇත්තේ මගේ පියා. තාත්තා පදිංචිවෙලා හිටියේ දේද්දුගොඩ තාත්තා නංගිත්, මස්සිනාත් මස්සිනාගේ දරුවන් තිදෙනාත්, මස්සිනාගේ දුව බැදපු මහත්තයාත්  එයාගේ දරු දෙදෙනාත් තමය දේද්දුගොඩ පදිංචිවෙලා හිටියේ. බෑනටත් දරු දෙදෙනාටත් නැතිව 5 දෙනෙකුට කොවිඩ් ආසාදනය වුනා. තාත්තාත්  මල්ලිත් මල්ලිගේ පුතාත්  කරන්දෙණිය රෝහලට ඇතුලත් කළා. අනික් අය කුඹුරුගමුවේ හා හමිබන්තොට රෝහල්වල නතරවෙලා ප්‍රතිකාරගත්තා. තාත්තා මල්ලිත් පුතාත් කොවිඩ්වලට ප්‍රථිකාර  අරගෙන නිවසට පැමිණ දින තුනක් වෙනවා. නිරෝධායනය වෙමින් හිටියේ.මම පදිංචිවෙලා හිටියේ තාත්තලා පදිංචිවෙලා හිටිය ප්‍රදේශයට වඩා කිලෝමිටරයක් ඇතින්  අපි කවුරුවත් තාත්තාලා පදිංචිව සිට නිවසට ගියේ ආවේ නැහැ. තාත්තා ආරගෙන තිබුණේ දියර ආහාර පමණයි. ටිකක් අමාරු තත්වයෙන් තමයි ඉදලා තියෙන්නේ. පපුවේ අමාරුව, දියවැඩියාව, රුධිරපිඩනය යන රෝග තාත්තාට තිබුනා. තාත්තා  නිවසේදි මියගියා. පියාගේ මරණය කරාපිටිය රෝහලට රැගෙන ආවා. පරික්ෂණ සදහා කොටස් වගයක් ගන්න බව වෛද්‍යවරු අපිට කිවා.පියාගේ මරණය ගැන අපිට සැකයක් නැහැ.  අවසාන වශයෙන් මට කිමට ඇත්තේ  පියාගේ මරණය භුමදානය කිරිම සදහා අවසර ලබාදෙනවානම් එය භාරගන්නවා එසේ නොමැතිව ආදාහනාගාරය කිරීමට දෙනවානම් අපි එය බාරගන්නෙ නැහැ කියලයි" හෙතෙම පැවසිය.

පශ්චාත් මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර මහතා විසින් කරණු ලැබිය.සාක්ෂි මෙහෙයවීම ගාල්ල පොලිසියේ පො සැ 969 පියරත්න  විසින්   සිදුකරණු ලැබිය.