කෝටි නවයක් වංචා කළ පිය - පුතු වසර 10 සිරගෙට


(මනෝප්‍රිය ගුණසේකර)

ඕමානයට තේ කොළ අපනයනය කළ බවට සඳහන් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර රුපියල් කෝටි නමයකට අධික මුදලක් පෞද්ගලික බැංකුවකින් වංචා කිරීමේ චෝදනාවන්ට වරදකරුවනන් වු පිය පුතු දෙපළකට බරපතළ වැඩ සහිතව වසර 10 බැගින් සිර දඬුවම් කොළඹ මහාධිකරණ විනසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියම කළේය.

දැනට පිටරටකට පළාගොස් සිටින විත්තිකාර පිය පුතු දෙපළ අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුවක් ද   නිකුත් කළේය .

පෞද්ගලික බැංකුවකින් මෙම මුල්‍ය වංචාව සිදුකර තිබුණත් එය රටේ ආර්ථිකයට දැඩිසේ බලපාන බව අවධාරණය කරමින් විත්තිකරුවන්ට දැඩි දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා ව්‍යාජ ලේඛන මඟින් වංචාවෙන් ලබාගත් මුදල් වන්දියක් ලෙස බැංකුවට ගෙවීමටද විත්තිකරුවන්ට නියම කළේය.

පුද්ගලික බැංකුවේ සාමාන්‍යාධිකාරිවරයා සමග එක්ව මෙම මුදල් වංචා කළ විත්තිකරුවන්ට මෙලෙස දඬුවම් නියම කළ විනිසුරුවරයා විත්තිකරුවන් යළි ලංකාවට පැමිණෙන විට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ආගමන හා විගමන පාලකවරයාට වැඩිදුරටත් නියම කළේය.

පුද්ගලික බැංකුවේ සාමාන්‍යාධිකාරිවරයා සමග එක්ව මෙම මුදල් වංචාව කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ වේලායුධන් පේමලාල් හා ප්‍රවීන් ඔටාල් යන පිය පුතු දෙපළටය.