(මනෝප‍්‍රිය ගුණසේකර)
කෝටි තුනකට අධික මුදලක් අවභාවිත කළ බවට ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමගම චෝදනා ලැබ සිටි සෙසු විත්තිකරුවන් 6 දෙනා ද විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද (02) නිදහස් කරන ලදී.
අවභාවිතා කළ බව කියන රුපියල් කෝටි තුනකට අධික මුදල මේ වන විට හානිපූර්ණය කර ඇති බවට නාගරික සංවර්ධන අධිකාරිය විසින් දැනුම් දී ඇති හෙයින් මෙම නඩුව තව දුරටත් පවත්වාගෙන යෑමේ අදහස් නැතැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කළ දැනුම්දීමක් පිළිගනිමින් එම විත්තිකරුවන් නිදහස් කිරීමට විනිසුරු මඩුල්ල නියම කළේය.
මෙම නඩුවේ විත්තිකරුවකු වශයෙන් නම් කර සිටි හිටපු ආරක්‍ෂක ලේකම් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව ඔහුට විරුද්ධ නඩුව පවත්වාගෙන නොයන බව දැනුම්දීම හේතුවෙන් මීට පෙර අවස්ථාවකදී ගෝඨාභය රාජපක්‍ෂ මහතා නඩුවෙන් නිදහස් කරනු ලැබීය.
මෙම නඩුව මහාධිකරණ විනිසුරුවරුන් වන චම්පා ජානකි රාජරත්න (සභාපති), දමිත් තොටවත්ත සහ නාමල් බලල්ලේ යන විනිසුරු මණ්ඩල හමුවේ කැදවන ලදී.
එහිදී ඉදිරිපත් වූ කරුණු අනුව මෙලෙස නිදහස් කරන ලද්දේ ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ලියනආරච්චිගේ ප‍්‍රසාද් හර්ෂාන් ද සිල්වා, එම සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරී භද්‍රා උදුලාවතී කමලාදාස, සුසම්මික කේමින්ද ආටිගල, සමන් කුමාර ගලප්පත්ති, එම්.ඞී. මහින්ද සාලිය සහ එම්.ඒ. මල්ලිකා නමැත්තන්ය.
ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු මුදල් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩකිරීමට කුමන්ත‍්‍රණය කිරීම ඒ අනුව එම සංස්ථාව සතු රුපියල් මිලියන 49කට ආසන්න මුදලක් (රු.48,563,929.06) සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩකිරීම, ඒ සදහා ආධාර අනුබල දීම ඇතුථ චෝදනා 49 ක් යටතේ නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත.
දණ්ඩ නිති සංග‍්‍රහය යටතේ සහ පොදු දේපල විශයෙහි ලා සිදුකරනු ලබන වැරදි පිළිබද පනත යටතේ විත්තිකරුවන් වරදවල් සිදුකොට ඇති බව නීතීපතිවරයා විසින් සදහන් කොට තිබුණි.
මෙම නඩුව කැදවනු ලැබූ අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු ඉදිරිපත් කරමින් මෙම නඩුවේ පළමුවැනි විත්තිකරුව සිටි ගෝඨාභය රාජපක්‍ෂ මහතා දැනටමත් නිදහස් කොට ඇති හෙයින් මෙම නඩුව තව දුරටත් පවත්වාගෙන නොයා ඔවුන් නිදහස් කරන්නැයි ඉල්ලා සිටියහ.
ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු ඉදිරිපත් කරමින් සංස්ථාවේ සබාපතිවරයා විසින් මෙම සිද්ධිය පිළිබදව අලූතින් පත්කළ කමිටුවක් මගින් විමර්ෂනයක් සිදුකොට ඇතැයි කීය.
එම විමර්ශනයේදී මෙම ස්මාරකය සෑදීමට වැය වූ සියලූ මුදල් යළි සංස්ථාවට ලැබී ඇති බව හෙළිවී ඇතැයි එහෙයින් සංස්ථාවට කිසිදු පාඩුවක් සිදුවී නොමැති බවට අනාවරණය වී ඇතැයි ද එම කමිටු වාර්තාවේ ස`දහන් වී ඇතැයි අධිකරණයට දැනුම් දුන්නේය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කරුණු ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරිමේ සංස්ථාවේ කමිටු වාර්තාව මගින් රජයට කිසි`දු පාඩුවක් සිදුවී නොමැති බවට ද සිදුවූ හානිය පූර්ණය වී ඇති බවට කරුණු වාර්තා වන හෙයින් මෙම විත්තිකරුවන්ට එරෙහි නඩුව තව දුරටත් පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවක් මතු නොවන්නේ යැයි කීය.
ඉදිරිපත් වූ සියලූ කරුණු සළකා බැලූ විනිසුරු මඩුල්ල විත්තිකරුවන් සියලූ දෙනාම නිදහස් කිරීට නියම කළේය.

