කෝටි 111 කුඩු ප්‍රවාහනය කළ වෑන් රථයට දුන් නියෝගය


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මාතර වැලිගම ප්‍රදේශයේ දී රුපියල් කෝටි 111කට වටිනා හොරයින් මත්කුඩු තොගයක් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් පොලිසිය භාරයට ගත් මෝටර් රථය මුදල් විශුද්ධි කිරීමේ වැළැක්වීමේ පනත යටතේ තහනම් නියෝග නිකුත් කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කියයි.

2020 නොවැම්බර් 20 වෙනි දින පොලිස් විශේෂ කාර්ය බලකා ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව මත්කුඩු කිලෝ එක 111කින් යුත් ,මෙම මහා පරිමාණ මත්කුඩු වැටලීම කර තිබූ බව පොලිසිය කියයි.

වැටලීමෙන් අනතුරුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් සිදු කළ විමර්ශන වලදී එම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් 13 දෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි.

එහිදී හොරෙයින් මත්කුඩු තොගය ප්‍රවාහනය කරමින් සිටි අංගොඩ කොටිකාවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගැනුණු අතර සිදු කළ දීර්ඝ විමර්ශනයේදී එම පුද්ගලයා මත්ද්‍රව්‍ය මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකිරීමෙන් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් උපයා ගන්නා මුදල් යොදවා මෙම මෝටර් රථයේ මිල දී ගෙන තිබුණු බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් එම මෝටර් රථය කොළඹ 6 කිරුලපන හයිලෙවල් පාර ප්‍රදේශයේ මෝටර් රථ අලෙවි සලකින් 2020 ජූලි මස 27 වෙනි දින රුපියල් 39 ලක්ෂ 96000 ක මුදලක් ගෙවා මිලදීගෙන තිබුනේ අංගොඩ තල්ගහවත්ත ප්‍රදේශයේ පදිංචි වෙනත් පුද්ගලයකු ගේ නමට බව සිදු කළ දීර්ඝ විමර්ශනයේදී අනාවරණය වූ බව පොලිස් නිලධාරියකු පැවැසීය.