(යොහාන් භාසුර)
කොළඹ - මඩකලපුව දුම්රිය මාර්ගය හරහා ගමන් කරන වන අලි දුම්රියේ ගැටීම වැළැක්විම සඳහා ගල්ඔය හා හිඟුරක්කොඩ දක්වා කොටසේ අඩි 1520 ක සූර්ය පැනල සවිකර ආලෝකමත් කිරීමට තීරණය කළ බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පැවසීය.
වන අලින් මුහුණදෙන අනතුරු වළක්වා ගැනීම සඳහා වන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේදී ඊයේ (22) පැවැති සාකච්ඡාවෙන් පසුව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා එසේ පැවසීය.
අලින්ට මාර්ගය හොදින් දිස්වන ලෙස එම මාර්ගයේ අඩි 15-20 ක් දෙපැත්ත හොදින් සුද්ධ කිරීමට තීරණය කළ බවත් එම මාර්ග කොටසේ පිහිටීම අනුව අලින්ට මාර්ග දුම්රිය ක්ක්‍ෂණිකව දිස්නොවීම ගැටලුවක් බවත් නියෝජ්‍ය අමාත්‍ය සරත් මහතා කීය.
ඒ අනුව මාර්ගයේ පිහිටීම වෙනස් කරන්න සාකච්ඡා කළ බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා සූර්ය පැනල පාවිච්චි කරලා මාර්ගය ආලෝකමත් කිරීමට තීරණය කළ බව ද සඳහන් කළේය.
මුරපොළවල් පිහිටුවීම, කවුඩුල්ල සහ මින්නේරිය අතර අලින්ට මාරුවීමට අලි කොරිඩෝ ඉදිරිකිීම ආදි විසඳුම් රැසක් පිළිබඳව සාකච්ඡා කළ බවත් තව ද දුම්රියේ වේගය පිළිබඳව මෙහිදී දැඩි අවදානය යොමුකළ බවත් නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
කවුඩුල්ල රක්ෂිතයේ සිට මඩකලපුව -කොළඹ ප්‍රධාන දුම්රිය මාර්ගය හරහා ගමන් කරමින් සිටි අලි රංචුවක් මීනගයා ශීඝ්‍රගාමි දුම්රියේ ගැටී පසුගිය 20 වැනිදා වූ අනතුරෙන් වන අලි හතක් මරණයට පත්වූහ.
මීනගයා ශීඝ්‍රගාමී දුම්රියේ ගැටී වන අලි රංචුවක් මියයෑම සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ සහ සෙසු බලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවේ තවත් අදියරක් ලෙස මෙම සාකච්ඡාව පැවැත්විණි.
එහිදී නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා බලධාරීන් විශේෂ දුම්රියකින් අදාල මාර්ග ප්‍රදේශය නිරීක්‍ෂණය කළහ.