කොස්තාපල්වරුන්ට පහර දුන් තිදෙනෙක් අත්අඩංගුවට



 
 
සිතුම් චතුරංග

          
අංක තහඩු නොමැති යතුරු පැදියකින් පැමිණ කිලිනොච්චිය තිරුනගර් හි රථවාහන රාජකාරියේ නිරත පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු වෙත පහරදීම සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනකු කිලිනොච්චිය ජයන්තිනගර් හිදි අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී කේරළ ගංජා ග‍්‍රෑම් 20 යි මිලිග‍්‍රෑම් 620 ක් ද අත්අඩංගුවට ගත් බවත් සැකකරුවන් අතර එකම පවුලේ පියා සහ පුත‍්‍රයා ද සිටින බවද පොලිසිය පවසයි.

පහරදුන් සැකකරුවන් අත්අඩංගුවටගැනීම සඳහා සිදුකරන විමර්ශන කිලිනොච්චිය කොට්ඨාස භාර පොලිස් අධිකාරී ජයන්ත රත්නායක මහතා විසින් කිලිනොච්චිය කොට්ඨාස දුෂණ මර්දන අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එම්.එම්.ඩි.එන් චතුරංග මහතා ඇතුළු කණ්ඩායමක් වෙත ලබාදීමෙන් පසුව සැකකරුවන් ජයන්තිනගර් හි පාලූ නිවසක සඟව සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

පසුගිය 03 වැනිදා රාත‍්‍රියේ අංක තහඩු නොමැති නවීන පන්නයේ යතුරු පැදියකින් පැමිණි සැකකරුවන් විසින් රථවාහන රාජකාරි කරමින් සිටි කොස්තාපල්වරුන් දෙදෙනාට පොලූ, මුගුරු වලින් පහරදී ඇති අතර සිද්ධියෙන් තුවාල ලැබූ එම නිලධාරීන් දෙදෙනා කිලිනොච්චිය රෝහල වෙත ඇතුළත් කර සිටියේය.

අත්අඩංගුවටගත් සැකකරුවන් කිලිනොච්චිය ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු 22ත් 62 අතර වයසේ පසුවන්නෝ වෙති.