
(විමුක්ති එස් රුද්‍රිගු)
ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබා ගත් පුද්ගලයන්ට සාපේක්ෂව ඇස්ට්‍රා සෙන්කා එන්නත ලබා ගත් පුද්ගලයින්ට ඉතාමත් දුර්ලභ ලේ කැටි ගැසීමේ තත්ත්වයක් හට ගැනීමේ අවදානම සියයට 30 කින් වැඩි බව නවතම අධ්‍යනයකින් හෙළිවූ බව එන්.ඩී.ටී.වී පුවත් සේවය වාර්තා කළේය.
ජාත්‍යන්තර පර්යේෂණ කණ්ඩායම, 2020 වසරේ දෙසැම්බර් මස සිට පසුගිය වසරේ මැද භාගය තෙක් අවම වශයෙන් එක් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රාවක් ලබා ගත් වැඩිහිටි පුද්ගලයන් මිලියන 10කගේ සෞඛ්‍ය වාර්තා ලබා ගනිමින් මෙම අධ්‍යනය සිදුකර ඇත.
එහිදී ඇස්ට්‍රා සෙන්කා එන්නත ලබා ගත් පුද්ගලයින්ට දුර්ලභ ලේ කැටි ගැසීමේ තත්ත්වයක් ඇති වීමේ අවදානම සියයට 30 කින් වැඩි බව අනාවරණය කර ගෙන ඇත.
මීට පෙර සිදුකළ අධ්‍යනයකදී, රුධිර පට්ටිකා අඩුවීම සමඟ ලේ කැටි ගැසීමේ තත්ත්වයක් හටගත් රෝගීන්ගෙන් සුළු ප්‍රමාණයකට කොවිඩ් මර්දන එන්නතේ අතුරු අබාධයක් ලෙස එම රෝගී තත්ත්වය හට ගන්නට ඇතැයි සොයා ගත් අතර ඇස්ට්‍රා සෙන්කා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් ලබාගත් පුද්ගලයින්ට මෙසේ ලේ කැටි ගැසීමේ ඉතා සුළු අවදානමක් තිබෙන බව සොයා ගත්තේය. එම අවස්ථාවේ බොහෝ රටවල් එම රටවල කොවිඩ් එන්නත පිළිබඳ උපදෙස් වෙනස් කරගැනීමට කටයුතු කළේය.
ජාත්‍යන්තර පර්යේෂණ කණ්ඩායම ප්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය, ස්පාඤ්ඤය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය යන රටවල මිලියන 10කට අධික වැඩිහිටි පුද්ගලයන්ගේ සෞඛ්‍ය දත්ත විශ්ලේෂණය කර ඇති අතර ඔවූහු 2020 දෙසැම්බර් සහ 2021 මැද භාගය අතර අවම වශයෙන් එක් එන්නත් මාත්‍රාවක්වත් ලබා ගෙන තිබූහ.
ජර්මනියේ සහ එක්සත් රාජධානියේ මිලියන 1.3 ඇස්ට්‍රා සෙන්කා පළමු මාත්‍රාව ලබා ගත් සහ මිලියන 2.1 ක් ෆයිසර් එන්නත ලබා ගත් වැඩිහිටි පුද්ගලයන්ගේ දත්ත විශ්ලේෂණය කර ඇති අතර ඇස්ට්‍රා සෙන්කා පළමු එන්නත ලබා ගෙන දවස් 28කින් පසු ලේ කැටි ගැසීම් සිද්ධීන් 862 ක් වාර්තා වී ඇති බවත් ෆයිසර් පළමු එන්නත ලබා ගෙන දවස් 28කින් පසු ලේ කැටි ගැසීමේ සිද්ධීන් 520 ක් වාර්තා වී ඇති බවත් එම අධ්‍යනය පිළිබඳ පළවූ ලිපියේ සඳහන් වේ.

