කොරෝනා ලොවපුරා මැතිවරණ 30 ක් කල් දමයි


එෆ්.අස්ලම්

ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කොවිඩ් 19 වෛරසය හේතුවෙන් ශ්‍රිලංකාවේ පාර්ලිමේන්තු මහ මැතිවරණය පමණක් නොව ලෝ පුරා මැතිවරණ 30ක ප්‍රමාණයක් කල්ගොස් ඇති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන අවධාරණය කරයි.

මැතිවරණය කල්දමා ඇති පසුබිමක නාම යෝජනා පත්‍රවල නම් සදහන් බොහෝ අපේක්ෂකයි මෙම සංවේදී කාල සමයද දේශපාලන වාසියට හරවා ගනිමින් ප්‍රචාරක කාර්යන්හි නිරතවන බව දිගින් දිගටම නිරීක්ෂණය වන බවද ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගැනීමේදී මැතිවරණ කොමිෂන් සභාව සතුව පවත්නා සීමාකම් කෙරෙහි ද අප ප්‍රමාණවත් අවබෝධයකින් පසුවන බවද එම සංවිධාන සදහන් කර සිටීයි.

ශ්‍රීලංකාවේ ක්‍රියාකාරී මැතිවරණ නිරීක්ෂණ සංවිධාන හතක් විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් මගින් මේ බව අවධාරණය කර ඇති අතර ශ්‍රිලංකාවේ පාර්ලිමේන්තු මහ මැතිවරණය පවතින තත්වය හමුවේ කල්දැමීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් ගනු ලැබූ තීරණය කෙරෙහිද එම සංවිධාන ප්‍රසාදය පලකර සිටීයි.

පැෆරල් සංවිධානය,මැතිවරණ ප්‍රචන්ඩක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය, ට්‍රාන්ස්පෙරන්සි ජාත්‍යන්තර ආයතනය,සාධාරණ මැතිවරණයක් සදහා වූ ව්‍යාපාරය(කැෆේ)ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය,නිදහස් හා සාධාරණ මැතිවරණ සදහා ව්‍යාපාරය,ලක්බිමේ මව්වරු සහ දියණියෝ යන සංවිධාන ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් වශයෙන් මෙම නිවේදනය නිකුත් කෙරිනි.

එම නිවේදනයේ මෙසේද සදහන් වේ.

එළඹෙන අප්‍රේල් මස 25 වැනි දින පැවැත්වීමට නියමිතව තිබු පාර්ලිමේන්තු මහා මැතිවරණය, මැතිවරණ කොමිෂන් සභාව මගින් තම බලතල ප්‍රකාරව කල්දමා ඇති පසුබිමක, ඒ පිළිබඳව ගොඩනැගෙමින් පවත්නා තියුණු සමාජ කථිකාව කෙරෙහි මෙරටේ සියලු ක්‍රියාකාරී මැතිවරණ නිරීක්ෂණ සංවිධාන තම බලවත් අවධානය හා සැලකිල්ල යොමුකරමින් සිටී.ඒ හා සමඟ විපත්තිදායක වාතාවරණයක නිරායාසයෙන් ගතහැකි ආසන්නතම හා සුදුසුම පියවර වූ, මැතිවරණය කල් දැමීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව ගන්නා ලද ක්‍ෂණික පියවර ද අපගේ නිසි ඇගයීමට ලක්වන අතර කොවිඩ් -19 ව්‍යාප්තිය වැලැක්වීම සඳහා වූ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පිහිටුවමින් සිදුවිය හැකිව තිබූ බලවත් හානියක් වැලැක්වීමෙහිලා ගත් කාලීන පියවර උදෙසා ගරු  ජනාධිපතිවරයා ද  අපගේ ප්‍රශංසාවට ලක්වන බව සඳහන් කිරීමට කැමැත්තෙමු.