කොරෝනා අස්සේ තවත් ලෙඩක්


(ඩයනා උදයංගනී)

මෙම වසරේ ගත වූ කාලයේදී මෙරටින් මැලේරියා රෝගීන් හත් දෙනකු හමුවී ඇති අතර ඊයේ (22) දිනයේදීද එක් ආසාදිතයකු වාර්තා වූ බව මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පවසයි.

මේ අතරින් තිදෙනකු ශ්‍රී ලාංකිකයින් වන අතර අනෙක් සිවුදෙනා විදේශිකයින් බව අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේය.

මෙම සියලු දෙනා අප්‍රිකානු රටවල සිට පැමිණි අය බවත්, ඊයේ හඳුනාගත් රෝගියා ලිබියාවේ සිට පා පන්දු තරඟාවලියක් සඳහා මෙරටට පැමිණ ඇති අයකු බවද වෛද්‍යවරයා කීවේය.

මේ අතර පසුගිය වසරේද මෙරටින් මැලේරියා රෝගීන් 30 දෙනකු හමුවූ බව වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ මෙම මස 25 වැනිදාට යෙදෙන ලෝක මැලේරියා දිනය නිමිත්තෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී අද (23) පැවති සම්මන්ත්‍රණයක් අමතමිනි.

අප්‍රිකානු රටවල මෙන්ම ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක ද මැලේරියා රෝගය පවතින බැවින් එවැනි රටවල සාමසාධක හමුදාවන් ලෙස මෙන්ම දඹදිව ආදී චාරිකාවල නිරතවන්නන් මැලේරියා රෝගයට ගොදුරුවීමේ වැඩි අවදානමක් පවතින බැවින් ඔවුන් ඒ ගැන අවදානයෙන් පසුවිය යුතු බව ද අධ්‍යක්‍ෂවරයා කීවේය.

මැලේරියා රෝගකාරකය වසරක් පමණ ශරීරය තුළ එය පවතින බැවින් අවදානම් රටවල සිට පැමිණෙන අය උණ රෝගයක් ඇතිවූ විට තමන් එවැනි රටක සංචාරය කළ බවට වෛද්‍යවරයා දැනුවත් කළ යුතු බව ද ඔහු පැවසීය.

විශේෂයෙන් උතුරු පළාතේ මැලේරියා වාහක ඇනෝපිලිස් මදුරුවා තවමත් ජීවත්වන බැවින් එම පළාතේ ජනතාව මේ ගැන අවදානයෙන් කටයුතු කළ යුතු බව කී වෛද්‍යවරයා ශ්‍රී ලංකාව මැලේරියා රෝගය තුරන් කළ රටක් වුවත් යළි අවදානමක් මතුවිය හැකි බව ද සඳහන් කළේය.