කොරෝනා පාලනයට මහාචාර්ය තිස්ස විතාරණගෙන් යෝජනාවලියක්


(සුජිත් හේවාජුලිගේ)

රට නොවසා දැඩි සංචරණ සීමා පැනවීමෙන් ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදයේ පැතිරීම පාලනය කළ හැකි යැයි වයිරසවේදය පිළිබඳ ප්‍රකට විද්‍යාඥයකුවන මහාචාර්ය තිස්ස විතාරණ මහතා ලංකාදීපයට පැවැසීය.

වයිරසය පාලනය කිරීම සඳහා ජනතාව උපරිම වශයෙන් නිවෙස්වල රැඳවීමට කටයුතු කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.

කොවිඩ් වයිරසය වායුගෝලයෙන් පැතිරෙන බවට සමහරුන් මත පළ කර තිබෙන බව පැවසූ විතාරණ මහතා එම වයිරසය වායුගෝලය ඔස්සේ දුර පැතිරෙන එකක් ලෙස නොසලකන බවද පැවසුවේය.

කොවිඩ් වයිරසය පැතිරෙන්නේ පුද්ගලයාගෙන් පුද්ගලයාට බවත් වයිරසයකට සජීවී උපස්තරයක මිස බාහිර පරිසරයේ වර්ධනය විය නොහැකි බවත් මහාචාර්යවරයා ප්‍රකාශ කළේය.

තනි වයිරසයකටද ගමන් කළ හැක්කේ ඉතාම කෙටි සීමිත දුරක් බවද ඔහු පෙන්වා දුන්නේය.

වයිරසය වායුගෝලයෙන් පැතිරෙනවා නම් එය සියලු දෙනාටම වැළඳෙන බවත් ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ඉදිරියේදී තවත් වෙනස්කම්වලට භාජනයවී දරුණු වයිරස ප්‍රභේද නිර්මාණයවීමට ඉඩ ඇති බවත් මහාචාර්ය තිස්ස විතාරණ මහතා සඳහන් කළේය.

රට සම්පූර්ණයෙන්ම වැසුවහොත් ජනතාවට කෑම අහේනියක් මතුවීම වැළැක්විය නොහැකි බවද ඔහු පෙන්වා දුන්නේය.

මුව ආවරණ පැළඳීම, පුද්ගල දුරස්ථභාවය පවත්වාගෙන යෑම, දෑත් සබන් යොදා සේදීම, එක්රොක්වීම වැළකීම යනාදි ක්‍රියාමාර්ගවලින් වයිරසය තම තමන්ගේ තමන්ගේ ශරීරවලට ඇතුළු වීම වළක්වා ගත හැකි බවත් මේ අවස්ථාවේදී ජනතාවගේ සහයෝගය ඉතාම වැදගත් බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.

කොවිඩවලින් ආරක්ෂාවීම සඳහා විශේෂයෙන් රූපවාහිනී මාධ්‍ය පාවිච්චි කර ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළ යුතු බවද විතාරණ මහතා පැවසුවේය.