කෙරවලපිටිය අංගනය වෙත කසළ බාරගැනීම නවත්වයි


(ඩයනා උදයංගනී)

කොළඹ නගරයේ කසල බැහැර කිරීම සඳහා ශ‍්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මගින් වත්තල කෙරවලපිටිය ප‍්‍රදේශයේ පවත්වාගෙන යන කසළ අංගනය වෙත කසළ බාරගැනීම අද (05) සිට නවත්වා දැමීමට තීරණය කළ බව එම සංස්ථාව පවසයි.

මේ වනවිට එයට ලබාගත හැකි කසළ ධාරිතාව ඉක්මවා තිබෙන බැවින් හා මතුව ඇති විරෝධතා හේතුවෙන් මෙම තීරණය ගත් බව ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා පැවසීය.

මේ හේතුවෙන් කොළඹ මහ නගර සභාවේ කසල හෙට (06) සිට අලුවක්කාලු කසල රඳවනය වෙත හෝ වෙනත් ස්ථානයකට බැහැර කිරීමට සිදුවනු ඇතැයි ද සභාපතිවරයා කීවේය.

පසුගිය 2017 වර්ෂයේ අප්‍රේල් මස 14 වන දින සිදුවූ මීතොටමුල්ල කසළ කන්ද නායයාමෙන් පසුව කොළඹ නගරයේ ඇතිවූ හදිසි කසළ ගැටළුවට තාවකාලික පිළියමක් ලෙස වසරක කාලසීමාවකට යටත්ව අක්කර 20ක පමණ භූමියක් තුළ මෙම කසල අංගනය ආරම්භ කළ බවත් මේ වන විටත් එය වසර දෙකකට වැඩි කාලසීමාවක් පවත්වාගෙන ගොස් ඇති බවත් සභාපතිවරයා සඳහන් කළේය.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් පුත්තලම, අරුවක්කාලූ ප‍්‍රදේශයේ ඉදිකර ඇති විද්‍යාත්මක සනීපාරක්ෂක කසළ රඳවනය වෙත කසළ බැහැර කිරීමේ හැකියාව ඇතත් ඒ සඳහාත් විවිධ බාධාවන් මතුවීම හේතුවෙන් කෙරවලපිටියේ මෙම කසල අංගනය මේ වන තෙක් පවත්වාගෙන ඒමට සිදුවූ බවද ඔහු පැවසීය.

අධික ධාරිතාවයකින් කසළ භාරගැනීම නිසා කෙරවලපිටිය ප‍්‍රදේශයේ විවිධ පාරිසරික හා සමාජයීය ගැටළු නිර්මාණය වන බවට පරිසර අධිකාරිය ඇතුළු විවිධ ආයතන මගින්ද මේ වන විට සංස්ථාව දැනුම්වත් කර ඇතැයි කී සභාපතිවරයාල විපක්ෂයේ ඇතැම් දේශපාලන නියෝජිතයන්ගේ පැමිණ සේවකයන් බියවද්දමින් සිදුකරන්නාවූ විවිධ ක‍්‍රියාකාරකම් නිසා ද කෙරවලපිටිය කසළ අංගනය තවදුරටත් පවත්වාගෙන යාමේ බාධාවන් මතුව ඇතැයි ප‍්‍රකාශ කළේය.

කෙසේ වෙතත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් ඉදිකර ඇති අලුවක්කාලු සනීපාරක්‍ෂක කසල රදවනයට දිනකට කසල මෙටි‍්‍රක් ටොන් 600ක් භාරගැනීමේ හැකියාව මේ වන විටත් පවතින බව ද හෙතෙම සඳහන් කළේය.