කුරුඳු පොලු නඩුව කල්යයි


(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයින් දෙපිරිසක් අතර මාතර මහ නගර සභාව ඉදිරිපිට දී ඇති වූ කුරුදු පොලු ගැටුමට අදාළ නඩුවේ සැකකරුවන් නිසි පරිදි අධිකරණය හමුවේ පෙනී නොසිටින්නේ නම් මෙම නඩුව තව වසර 25 ක් වත් ගතවන තෙක් අවසන් නොවනු ඇති බවත් එම නිසා මින් ඉදිරියට අධිකරණය හමුවේ නිසි ලෙස පෙනී නොසිටින සැකකරුවන් නඩුව අවසන් වන තෙක් රිමාන්ඩ් භාරයට පත් කර නඩු විභාගය සිදු කරන බවත් මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (05) එම නඩුව කැඳවූ අවස්ථාවේ දී ප්‍රකාශ කළේය.

නඩුව සමථයකට පත් කර ගැනීම සඳහා දෙපාර්ශ්වය සාකච්ඡා කර අධිකරණයට දැනුම් දෙන ලෙසත් සමථය සලකා බැලීම හා එසේ නොවන්නේ නම් නඩුව විභාගයට ගැනීම සඳහා දින නියම කිරීමට වැඩිදුර නඩු විභාගය ලබන වසරේ පෙබරවාරි මස 17 වැනි දින සවස 2.30 දක්වා කල් තැබිණි.

මෙම නඩුවේ ප්‍රධාන සැකකරුවකු වු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු සැකකරුවන් කිහිප දෙනෙකු අද (05) අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඇමතිවරයා ඇතුළු එම පිරිස අසනීප වී සිටින බවට නීතිඥවරුන් වෛද්‍ය වාර්තා මගින් අධිකරණයට දැනුම් දුන්නේය.

ඔවුන් වෙනුවෙන් ඇපකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටි අතර එම සැකකරුවන් මීළඟ දින අනිවාර්යෙන්ම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඇපකරුවන්ට අවවාද කළේය.

තවද සාධාරණ හේතුවක් නොමැතිව අධිකරණය හමුවේ පෙනී නොසිටි සැකකරුවන් දෙදෙනෙකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මාතර මූලස්ථාන පොලීසියට නියම කරන ලදි.

මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්කිකරුවෙකු වු ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා ද අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු ජනාධිපතිවරයාගේ කැඳවීමක් අනුව ජනාධිපති කාර්යාලයට ගොස් සිටින බවට ඒ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් සමරසිංහ මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

එහිදී පැමිණිල්ලේ ස්ථාවරය කුමක්වේදැයි ප්‍රධාන මහේස්ත්‍රාත් වරයා විමසා සිටි අතර ඊට පිලිතුරු දෙමින් නීතිඥ අජිත් සමරසිංහ මහතා කියා සිටියේ තම පාර්ශ්වයට එරෙහිවද මාතර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවතින බැවින් එය ඉවත් කර ගන්නේ නම් සමථයකට පත් විය හැකි බවයි.

එම නඩුවේ චෝදනා සමථයකට පත් විය හැකි චෝදනා නොවන බවට විත්තියේ නීතිඥයින් අධිකරණය හමුවේ ප්‍රකාශ කළ විට ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා දැනුම් දුන්නේ දෙපාර්ශ්වය සාකච්ඡා කර ප්‍රායෝගිකව විසදා ගත හැකි ආකාරයේ සමථයක් යෝජනා කර ගන්නා ලෙසයි.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු සැකකරුවන් 65 දෙනෙකු මෙම නඩුවේ සැකකරූවන් ලෙස නම් කර තිබේ. ඔවුන් අතරින් සැකකරුවන් සිව් දෙනෙකු නඩු විභාගය අතරතුරදී මිය ගොස් ඇත.

මෙම නඩුවේ සාක්ෂිකරුවකු වූ ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ පියා වන හර්මන් ගුණරත්න මහතා පැමිණිල්ල වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට එම තනතුරින් ඉවත් වන්නැයි බල කරමින් එම පක්ෂයේම ආධාරකරුවන් පිරිසක් දෙවිනුවර නගරයේ සිට කොලඹ දක්වා ගමන් කළ පා ගමනට ප්‍රහාරයක් එල්ල වී තිබුණේ 2013 වසරේ ඔක්තොම්බර් මස 05 වැනිදාය.

එහිදී එකම පක්ෂයේ පාක්ෂිකයින් දෙපිරිසක් කුරුදු පොලු වලින් ගුටි බැට හුවමාරු කර ගත් අතර 15 දෙනෙක් පමණ තුවාල ලැබූහ.

එම ගැටුම අතරතුරදී වෙඩි තැබීමක් ද සිදු වූ අතර ඒ සම්බන්ධයෙන් හිටපු පලාත් මන්ත්‍රී මෛත්‍රී ගුණරත්න මහතාගේ පියා වන හර්මන් ගුණරත්න මහතාට එරෙහිව මාතර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ද විභාග වෙමින් පවතී.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට අමතරව අග්‍රාමාත්‍ය හිටපු පෞද්ගලික ලේකම් සුගත් චන්ද්‍ර සේකර,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සන්දිත් සමරසිංහ,ලක්ෂ්මන් විජේමාන්න,කලුතර දිස්ත්‍රික් කළමණාකරු ප්‍රසාද් හෙට්ටිආරච්චි,මංගල සමරවීර මහතාගේ මහජන සම්බන්ධතා නිලධාරී සමීර මනහර  ,හිටපු දකුණු පලාත් සභා මන්ත්‍රීවරුන් වන බී.ජී.චන්දන ප්‍රියන්ත,ගයාන් සංජීව,ක්‍රිෂාන්ත පුෂ්පකුමාර,හබරාදුව හිටපු ආසන සංවිධායක ලයනල් ඉපිලවත්ත  ,මාතර මහ නගර සභාවේ විපක්ෂ නායක උපුල් නිශාන්ත,මාතර හිටපු නාගරික මන්ත්‍රීවරුන් වන නුස්කි ඉක්බාල්,නලින් අබේගුණවර්ධන,ජගත් නල්ලපෙරුම,එක්සත් ජාතික පක්ෂයේ බලපිටිය හිටපු සංවිධායක නීතිඥ කමල් ද සොයිසා,හිටපු නාගරික මන්ත්‍රී නීතිඥ නදිල් මාලගොඩ,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.ආර්.විමලසිරි,මාතර ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක ලයනල් කොඩිකාර,දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති හේමසිරි කොඩිතුවක්කු,එක්සත් ජාතික පක්ෂයේ මාතර දිස්ත්‍රික් මාධ්‍ය ලේකම් උදයංග සදරුවන්,අමාත්‍ය සාගල රත්නායක මහතාගේ කාර්ය මණ්ඩල නිලධාරි ලහිරු ජයසිංහ ගැරට්,අගලවත්ත සංවිධායක ගාමිණි නල්ලපෙරුම යන මහත්වරු ද මෙම නඩුවේ සැකකරුවෝ අතර සිටිති.