කුරුණෑගල මවකට අවුරුද්දේ ලොකු තෑග්ගක්


(ෂේන් සෙනෙවිරත්න)

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී කුරුණෑගල මවක් දරුවන් සිව් දෙනකු බිහි කළාය.

කුරුණෑගල තෝරයාය අටමුනේ ප්‍රදේශයේ පදිංචි 30 මවක් එසේ සිව් නිවුන් දරු ප්‍රසූතියක් සිදු කොට තිබෙන අතර පිරිමි දරුවන් තිදෙනකු සහ ගැහැණු දරුවකු ඇය  බිහි කළාය.

දරුවන්ගේ මව පාසල් ගුරුවරියක් වන අතර පියා මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරියකු වශයෙන් සේවය කරන අයෙක් බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .

එම සිව් නිවුන් දරුවන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නවජන්ම ළදරු විශේෂ ප්‍රතිකාර ඒකකයේ තැබීමට වෛද්‍යවරුන් පියවර ගෙන තිබේ .

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය පේරාදෙණිය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය සම්පත් ඥානරත්න මහතා පවසා සිටියේ දරුවන්ගේ මව යහපත් සෞඛ්‍ය තත්වයෙන් සිටින බවත් විනාඩි 10 ක පමණ කාල පරතරයක් අතරතුර සිසේරියන් සැත්කමක් මගින් දරුවන් පිටතට ගත් බවයි .