කිංග්ස්බරි බෝම්බකරුට අයත් යතුරුපැදියක් පොලිස් බාරයට


(දිනේෂ් උපේන්ද්‍ර)                                                                       

කොළඹ කිංග්ස්බරි හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරවාගත් මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක්ට අයත් එෆ් ඉසෙඩ් වර්ගයේ යතුරුපැදියක් කුලියාපිටිය පොලිස් පරීක්‍ෂකවරයකුට ලද පෞද්ගලික තොරතුරක් මත පොලිස් බාරයට ගත් කුලියාපිටිය පොලිසියට පවසයි.

එලෙස පොලිස් බාරයට ගැණුනේ ඩබ්ලිව්. පී. වී. සී. 4843 දරණ එෆ් ඉසෙඩ් වර්ගයේ යතුරුපැදියක් වූ අතර මරාගෙන මැරෙන බෝම්බකරු සන්තකව ඔහුගේ නමින්ම ලියාපදිංචි කර තිබිණි.

එම යතුරුපැදිය 2017 අගෝස්තු මස 16 වැනිදා රුපියල් එක් ලක්‍ෂ අසූතුන් දහසකට කුලියාපිටිය ඇඹව ප‍්‍රදේශයේ ගැණුම්කරුවකු විසින් මිලදීගනු ලැබ ඇත.

මිලදී ගැනීමේදී මරාගෙන මැරෙන බෝම්බකරු එය නැවත ලියාපදිංචිය සඳහා ලබාදුන් විවෘත ලිපි ලේඛන සමඟ බෝම්බකරුගේ ජාතික හැඳුනුම්පතේ පිටපතක් ද ලබාදී තිබූ පවසන පොලිසිය එම ලිපි ලේඛන ද වැඩිදුර විමර්ශන සඳහා රඳවාගත් බව කියයි.

යතුරුපැදි අංක පිළිබඳව වට්ස්ඇප් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සංසරණය වූ රථවාහන අංක දැක ගැනුම්කරු බියට පත්ව කුලියාපිටිය පොලිසියේ පරීක්‍ෂක රොෂාන් වෙදමුල්ල මහතාට කළ දැනුම්දීම මත ගැනුම්කරුගේ යතුරුපැදිය පොලිස් බාරයට ගෙන ඇත.

සමාජ ජාලවලට තහනම් පනවා තිබියදී එවන් තොරතුරක් වෙනත් ක‍්‍රම භාවිතයෙන් ගොස් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ එම පණිවුඩයට ගැණුම්කරු පොලිසිය දැනුම්වත් කර තිබීම විශේෂත්වයකි. 

ගැණුම්කරු හා මරාගෙන මැරෙන බෝම්බකරු අතර තිබුණේ මොනයම් සම්බන්ධයක් දැයි විමර්ශනය කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් ගැණුම්කරු ඔවුන් බාරයට ගෙන වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.